කලකට පසු ලද ජයග්‍රහණය ගැන අවසන් තරගයේ වීරයා කතා කරයි..තරගයේ උද්වේගකර අවස්ථා අඩංගුයි.. (VIDEO)

india cricket avishka banuka
By Sewvandhi Jul 24, 2021 02:12 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඉන්දියාව සමඟ පැවති තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ අවසන් එක්දින තරගය ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට එරෙහිව මෙරට තුලදී එක්දින තරගයක් ජය ගත්තේ වසර 09කට පසු වීමද විශේෂත්වයක්.

අවසන් තරගයේ වීරයා බවට පත් වීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු සමත් වුණේ තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට ද පත්වෙමින්. මේ අතර තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය සාකච්ඡාවේදී අවිශ්ක ප්‍රනාන්දු පවසා සිටියේ මෙවැන්නක්.

"එංගලන්තයේදී මං බැට් කරපු විදියත් එක්ක පොඩි පොඩි දේවල් ටිකක් මං වෙනස් කරා, ඒ දේ මට වාසියක් වුණා මේ තරගාවලියේදී, එංගලන්තයේදී මගේ ඉස්සරහා කකුල ඕෆ් එකට යන ගතියක් තිබ්බා. මම ඒක පොඩි ටෙක්නික් එකකින් හදාගත්තා. ඒ නිසා මේකෙදි ලොකුවට ලකුණු වලට යන්න පුළුවන් වුණා."

එමෙන්ම ඉන්දියාව සමඟ හෙට ආරම්භවීමට නියමිත විස්සයි විස්ස තරගාවලිය සම්බන්ධයෙන්ද ඔහු අදහස් දක්වා සිටියා. එහිදී ඔහු සඳහන් කළේ කණ්ඩායමක් ලෙස හොඳින් ක්‍රීඩා කළහොත් එම තරගාවලියේදී ඉන්දියාව පරාජය කිරීමට හැකියාවක් පවතින බවයි.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති තුන්වන එක්දින ජාත්‍යන්තර තරගය කඩුලු 03කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. 2019 සිට මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලැබූ දෙවන ජය මෙය වන අතර වසර 9 කට පසු ශ්‍රී ලංකා කණ්ඩායම තම මව් බිමේදී ඉන්දියාවට එරෙහිව ජයග්‍රහණය කළ තරගය මෙයයි.

පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 225 රැස් කළ අතර ජයග්‍රහණයට අවශ්‍ය ලකුණු ගණන කඩුලු 7ක් දැවී ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමත්වුණා.

අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 76ක් රැස් කරමින් ද භානුක රාජපක්ෂ ලකුණු 65ක් රැස් කළා. ඒ අනුව දෙරට අතර එක්දින ජාත්‍යන්තර තරගාවලියේ ජය 2-1ක් ලෙස හිමිකර ගත්තේ ඉන්දීය කණ්ඩායමයි. දෙරට අතර විස්සයි විස්ස තරගය හෙට දිනයේදී අරම්භවීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now



GalleryGalleryGallery