බේරුවලින් ලංකාවටම අලුත් වැඩක්- ප්‍රථම බෝට්ටු දියත් කිරීමේ අංගනය විවෘත කෙරේ
බෝට්ටු නිෂ්පාදන අංශයේ ප්‍රගතිය වෙනුවෙන් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය රුපියල් මිලියන 76 ක පිරිවැයකින් ඉදිකළ ලංකාවේ ප්‍රථම බෝට්ටු දියත් කිරීමේ අංගනය බේරුවල දී නිල වශයෙන් විවෘත කර තිබේ .
බේරුවල ධීවර වරාය පරිශ්‍රයට අනුබද්ධව ඉදිවූ මෙම අංගනය විවෘත කෙරුණේ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙනි මෙම අවස්ථාවට ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතා සහ අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය ඇතුළු පිරිසක් එක්ව තිබුණි.
මෙහිදී සුවිශේෂී අදහස් දැක්වීමක් සිදුකළ කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේ, මීට පෙර බෝට්ටු නිෂ්පාදනාගාරවල සිට මහා මාර්ග හරහා වරාය වෙත බෝට්ටු ප්‍රවාහනය කිරීමේදී පටු මාර්ග සහ විදුලි රැහැන් හේතුවෙන් කර්මාන්තකරුවන්ට විශාල පිරිවැයක් සහ බාධාවන් රැසකට මුහුණ දීමට සිදු වූ බවයි.
අමාත්‍යවරයා පෙන්වා දුන්නේ නිෂ්පාදනාගාර ආසන්නයේම ඉදිවූ මෙම නව අංගනය නිසා එම ප්‍රවාහන පිරිවැය සහ අපහසුතා අවම කරගෙන, වඩාත් ආරක්ෂිතව හා කාර්යක්ෂමව බෝට්ටු මුහුදට දියත් කිරීමට ව්‍යවසායකයින්ට දැන් අවස්ථාව උදාවන බවයි රටේ විදේශ විනිමය ඉපැයීමේ නව මාවතක් විවෘත කළ ආයෝජනයක් ලෙස මෙය හැඳින්විය හැකි බවත් අමාත්‍යවරයා ලංකාවේ බෝට්ටු නිෂ්පාදන තාක්ෂණය අද වන විට සිසිලන පද්ධති සහ වානේ බෝට්ටු නිපදවීම දක්වා ඉතා ඉහළ මට්ටමකට දියුණු වී ඇති බවද සඳහන් කර ඇත.
මේ වනවිට මොරිෂස් සහ කෙන්යාව වැනි ජාත්‍යන්තර වෙළඳපොළවල් වලින් ලාංකීය බෝට්ටු සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බැවින්, 2030 වසර වන විට ඩොලර් බිලියන 36 ක ජාතික අපනයන ඉලක්කයට ළඟා වීමට බෝට්ටු නිෂ්පාදන කර්මාන්තය සෘජුවම දායක කරගත යුතු බව ඔහු වැඩිදුරටත් අවධාරණය කර තිබේ.
තවද, විවිධ වෙරළ තීරයන්ගෙන් අවිධිමත් ලෙස බෝට්ටු දියත් කිරීම නිසා කොරල් පරවලට, ජලජ ජීවීන්ට සහ වෙරළ තීරයට සිදුවන පරිසර හානිය මෙන්ම වෙරළ ඛාදනය වැළැක්වීමටද මෙම විධිමත් අංගනය මහඟු පිටුවහලක් බවට පත්වේ
බෝට්ටු නිෂ්පාදකයින්ගේ අත්‍යවශ්‍ය ‘පරීක්ෂණ ධාවන’ කටයුතු සඳහා මෙන්ම දේශීය ධීවරයින්ට සහ පෞද්ගලික සංචාරක යාත්‍රා හිමියන්ටද තමන්ගේ යාත්‍රා ආරක්ෂිතව දියත් කිරීමට මෙම පරිශ්‍රය විවෘතව පවතී .
තවද සාම්ප්‍රධායික අපනයනවලින් ඔබ්බට ගොස් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට කර්මාන්ත අමාත්‍යාංශය තැබූ මෙම පියවර මෙරට ව්‍යවසායකත්වයේ සුවිශේෂී අවස්ථාවක් වේ