නරක ආරංචියක් - රටම බය වූ නව විදුලි ගාස්තු සංශෝධනය අද සිට
මෙම වසරේ දෙවන සහ තුන්වන කාර්තුවලට අදාළ විදුලි ගාස්තු සංශෝධනය අද (11) දින පටන් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ඒ අනුව 2026 වසරේ දෙවන කාර්තුව වෙනුවෙන් විදුලි ගාස්තු සංශෝධනය අප්‍රේල් පළමු වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඉකුත් දා අනුමැතිය ලබා දී තිබුණා.
එහිදී සියයට 8ත් - සියයට 14.4ත් අතර ප්‍රමාණයකින් විදුලි ගාස්තු ඉහළ දැමීමට පියවර ගෙන ඇත.
එවැනි පසුබිමක නැවත වරක් මෙම වසරේ දෙවන කාර්තුවට අදාළ විදුලි ගාස්තු වැඩි කිරීම වෙනුවෙන් සංශෝධිත විදුලි පිරිවැය ඇස්තමේන්තුවක්, නැෂනල් සිස්ටම් ඔපරේටර් සමාගම මඟින් මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත යොමු කර තිබුණේ ඉකුත් අප්‍රේල් 27 වැනි දිනයි.
ඒ ඉන්ධන මිල ඉහළ යාම නිසා විදුලිය උත්පාදනය සඳහා වැයවන පිරිවැය ඉහළ යාම මෙම විදුලි ගාස්තු ඉහළ නැංවීමේ ඉල්ලීමට හේතුව වී ඇති බව පවසමින්. කෙසේ වුවද විදුලි ගාස්තු ඉහළ යෑමෙන් විදුලි පාරිභෝගිකයින් පීඩාවට පත්වීම වැළැක්වීමට රුපියල් බිලියන 15ක සහනාධාරයක් ලබාදීමට රජය ලිඛිතව කොමිසමට එකඟ වී ඇත.
කෙසේ වුවද මෙවර විදුලි ගාස්තු වැඩිවීම මෙරට විදුලි පාරිභෝගිකයන් සියයට 95කටම අදාළ නොවේ.
ඒ අනුව ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 0 සිට ඒකක 180 දක්වා ගාස්තු ඉහළ දැමීමක් සිදු නොවූවද ඒකක 181ට වැඩි එනම් ඒකක 210ක් භාවිත කරන විදුලි පාරිභෝගිකයෙකුගේ මෙතෙක් පවතින රු.9,570ක ගාස්තුව රු. 11,330ක් දක්වා රුපියල් 1,760කින් ඉහළ දැමීමට කටයුතු කර ඇත.
එසේම ඒකක 240ක් භාවිත කරන අයෙකුගේ මෙතෙක් පවතින රු.12,120ක බිල්පත රු.2,210කින් ඉහළ දමා ඇති අතර එහි නව ගාස්තුව රු.14,330ක් ලෙස සඳහන්.
එමෙන්ම ඒකක 270ක් භාවිත කරන ගෘහස්ථ කාණ්ඩයේ විදුලි ගාස්තුව රුපියල් 2,660කින් සහ ඒකක 300ක් භාවිත කරන විදුලි පාරිභෝගිකයෙක්ගේ බිල්පත රු.3,110කින් ඉහළ යන බවද දැක්ව්වේ.