අද තරගයේ කාසිය වාසිය තීරණය මෙන්න
පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය අද සාජාහිදී පැවැත්වෙනවා. තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදීමටයි.
ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු තබා ගන්නට නම් මෙම තරගය ඇතුළුව ඉතිරි තරග දෙකේ ද ජය තීරණාත්මක වනු ඇති.
ලෝක කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ බංග්ලාදේශය සමග පැවැති තරගය ජය ගත්ත ද ඔස්ට්‍රේලියාව සමග තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම හිමි වුණේ කඩුලු 7ක පරාජයක්. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මේවන විට පළමු කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ 4 වැනි ස්ථානයේ පසුවනවා. එවැනි පසුබිමක් තුළ දකුණු අප්‍රිකානුවන් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම තරගබිමට පිවිසෙනු ඇති.
මෙම තරගයේ ජය ශ්‍රී ලංකාව වගේම දකුණු අප්‍රිකාවටත් තීරණාත්මක වෙද්දී, දකුණු අප්‍රිකාවට එරෙහිව වසර 3කින් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 තරගයක් ද ජය ගෙන නැහැ. ඔවුන් හමුවේ අඛණ්ඩව තරග 6ක් පරාජය වී තිබෙන ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට දකුණු අප්‍රිකාවට එරෙහිව පන්දුවාර 20 තරගයක් ජයගෙන ඇත්තේ 2018 වසරේදීයි.
නමුත් මෙම තරගයට පෙර පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පවසන්නේ තම දකුණු අප්‍රිකා සටනට තමන් සූදානම් බවයි. ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව පන්දුවාර 20 තරග 16කදී එකිනෙකා මුණ ගැසී තිබෙන අතර ඉන් තරග 11ක් දකුණු අප්‍රිකාව ජය ගනිද්දී ශ්‍රී ලංකාව ජය ගෙන ඇත්තේ තරග 5ක් පමණයි.
සාජාහිදී දිවා තරගයක් ලෙසින් පැවැත්වෙන ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා තරගය අද ආරම්භ වන්නේ පස්වරු 3යි 30ටයි. මේ අතර පලමු කාණ්ඩයෙන්ම තරග බිමට පිවිසෙන ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර තරගයත් අද රාත්‍රී 7.30ට පැවැත්වීමට නියමිතයි. මේ අතර මෙවර ලෝක කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ අපරාජිත වාර්තාව තවදුරටත් රැකගන්නට පාකිස්තාන කණ්ඩායමට ඊයේ රාත්‍රීයේ හැකියාව ලැබුණා.
ඒ ඇෆ්ගනිස්ථානය සමඟ පැවති තරගයෙන් කඩුලු 5ක සුපිරි ජයක් වාර්තා කරමින්. කෙසේ වෙතත් ඩුබායිහිදී පැවති මෙම තරගය නරඹන්න ප්‍රේක්ෂක ප්‍රවේශපත් 16,000ක් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අලෙවි කර තිබුණත්ල විශාල ප්‍රේක්ෂක පිරිසක් ඩුබායි ක්‍රීඩාංගණයේ දොරටු අසලට එක් ව සිටියා
. පිරිස පාලනය කිරීම සදහා පොලිසියට ද මැදිහත් වන්නට සිදු වෙද්දී, සංවිධායකයන් විසින් පියවර ගත්තේ සියළුම දොරටු වසා දමන්නටයි. මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 147ක් රැස්කළා.
නායක මොහොමඩ් නබි සහ ගුල්බඩින් නයිබ් ලකුණු 35 බැඟින් රැස් කළා. පන්දු යැවීමේදී ඉමාඩ් වසීම් කඩුලු 2ක් බිඳ හෙලුවා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථානය පන්දුවාර 19කදී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 148ක් ලබා තරගය ජය ගත්තේ සුපිරි සටනකින් අනතුරුවයි. නායකත්ව ඉනිමක් ක්‍රීඩා කළ බාබර් අසාම් ලකුණු 51ක් රැස් කළා. ඔහුගේ ඉනිම හතරේ පහර 4කින් වර්ණවත් වුණා. ෆකර් සමාන් ලකුණු 30යි. පාකිස්තානයට අවසන් පන්දුවාර දෙකේදී ජයග්‍රහණය සඳහා ලකුණු 24ක ඉලක්කයක් හිමි වෙද්දී 19 වැනි පන්දුවාරයේදීම පාකිස්තානයේ ජය තහවුරු කරන්නට අසීෆ් අලි හැකියාව ලැබුණා. ඒ ඇෆ්ගනිස්තාන බලාපොරොත්තු සුණු විසුණු කරමින් එම පන්දුවාරයේදී හයේ පහර 4ක් එල්ල කරමින්.
අසීෆ් අලි පන්දු 7කින් නොදැවී ලකුණු 25ක් රැස්කරමින් තරගයේ වීරයා ලෙසින් ද සම්මාන දිනා ගත්තා.
මේ ජයත් සමඟ සුපිරි 12 වටයේ 2වැනි කාණ්ඩයෙන් තවදුරටත් පෙරමුණ රැකගන්නට පාකිස්ථාන කණ්ඩායමට හැකියාව ලැබුණා.
ඒ ඔවුන් සහභාගි වූ තරග තුනම ජයගනිමින් හිමිකර ගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 6ක්.
