මවයි දරු දෙදෙනයි නිදාගත් ඇඳේ මෙට්ටය යට නයි පැටව් 30ක්

By Wasantha Aug 02, 2021 02:45 AM GMT
Report

මාවතගම දෙල්ගොල්ලවත්ත ප්‍රදේශයෙ නිවෙසක නිදන ඇඳක මෙට්ටයක් යට සිටියදී නයි පැටවුන් 30 දෙනකු සොයා ගත් පුවතක් වාර්තාවේ.

නිවැසියන් කරන ලද දැනුම් දීමකට අනුව පරිසරවේදියකු වන කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සේවය කරන කැළුම් සෝමරත්න මහතා අද එම නිවසට ගොස් කරන ලද සොයා බැලීමකින් පසුව මෙම නයි පැටවුන් 30 දෙනා සොයා ගැනීමට හැකිවී තිබේ.

මෙම සිද්ධියේ විශේෂත්වය වන්නේ නිවෙස් හිමියාගේ බිරිඳ සහ දරුවන් නිදා සිටියදීම එම ඇඳේ මෙට්ටය යට මෙම නයි පැටවුන් 30 දෙනාද දින ගණනාවක්ම සිට තිබීමය.

ඊට පෙර දිනයේ නිවෙස තුළ සිටියදී ප්‍රථමයෙන්ම නයි පැටවුන් දෙදෙනකු හමුව ඇති අතර නිවෙස් හිමියා බියට පත්ව එම සතුන් දෙදෙනාට පහරදී මරා දමා ඇත.

ඉන් පසු දින රාත්‍රියේ ඇඳට දමා තිබූ මදුරු දැලෙන් ඇතුළු වූ තවත් නයි පැටවෙකු ඇඳේ නිදා සිටි අයකුගේ සිරුර මතින් ගමන් කර ඇති අතර ඉන් මහත්සේ බියට පත් ඔවුන් පසුව සැකයට මෙන් ඇඳ පරීක්ෂා කර බලත්දී ඇඳට දමා තිබෙන ලෑල්ලක් සහ මෙට්ටයත් අතර කොටසේ පොදියක් මෙන් සිටින නයි පැටවුන්ව දැක ඇත. ඔවුන් පසුව ඒ බව පරිසරවේදියකු වන කැළුම් මහතාට දැනුම් දීමෙන් පසුව ඒ මහතා පැමිණ නිවෙස පරීක්ෂා කර බලා ඇඳේ මෙට්ටය යට සිටි නයි පැටවුන් ආරක්ෂිතව ඉවත් කර ඇත.

එම නිවෙස දැඩි පරීක්ෂාවකට ලක් කළද වෙනත් නයි පැටවුන් හෝ මවු සතා හෝ පැටවුන් බිහිවූ බිත්තර වල කටු පවා හමු නොවූ බවද නමුත් පැරණි නිවෙසක් වන එහි කොටසක ඇති බෙනයක් වැනි ස්ථානයකින් මවු සතාගේ බවට සැක කරන හැවක් සොයා ගැනීමට හැකිවූ බවද කැළුම් මහතා සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... Join Now