'මාලිමා – සජබ' බේරුවල බොක්කේ රඟපෑම! ලැජ්ජා නැති දෙගොල්ලන් - විපක්ෂේ ගිනි පුපුරයි

SJB Beruwala Latest Headlines Nalinda Jayatissa NPP Government
By Shehan Jul 15, 2025 09:47 AM GMT
Shehan

Shehan

Report

සමගි ජන බලවේගය (සජබ) සහ ජාතික ජන බලවේගය (මාලිමා) එක්ව බේරුවල නගර සභාවේ ඒකාබද්ධ පාලනයක් පිහිටුවීමට ගත් තීරණය සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂ කිහිපයක ජ්‍යෙෂ්ඨයින් පිරිසක් තම අප්‍රසාදය පළ කර ඇත.

දේශපාලන ආරංචි මාර්ග අනුව, ඊයේ (14) සවස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවති සාකච්ඡාවකදී, විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් මෙම බේරුවල සිදුවීම පිළිබඳව විශේෂ අවධානය යොමු කර ඇත. ඔවුන් පෙන්වා දී ඇත්තේ, බහුතර බලයක් නොමැති පළාත් පාලන ආයතනවල බලය අත්පත් කර ගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂය ගත් සාමූහික උත්සාහය මෙම තීරණය හරහා පාවාදී ඇති බවයි.

සජබ-මාලිමා අලුත් දේශපාලන සම්බන්ධය පිළිබඳවත් විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ සහ සංවිධාන අවධානය යොමු කර ඇත. බේරුවල සිදුවීම තුළ සජබ පක්ෂයක් ලෙස ජාතික ජන බලවේගයට සහාය දැක්වූ බව පෙන්නුම් කිරීම විශේෂයෙන් අවධානයට ලක්ව ඇත.

මීට පෙර, ආණ්ඩුවට සහාය දුන් සජබ මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට කටයුතු කර තිබුණත්, මෙම අවස්ථාවේදී එවැනි පියවරක් ගෙන නොමැති බවද සාකච්ඡාවලදී අවධාරණය වී ඇත.

විපක්ෂයක් ලෙස ඉදිරි දේශපාලන කටයුතු සිදුකිරීම සඳහා පැහැදිලි න්‍යාය පත්‍රයක් සහ පොදු ස්ථාවරයක් ඇතිව කටයුතු කිරීමේ අවශ්‍යතාව මෙම හමුවේදී ඉස්මතු වී ඇත.

බේරුවල නගර සභාවේ ආසන බෙදීම

ජාතික ජන බලවේගය: ආසන 3

ස්වාධීන කණ්ඩායම: ආසන 7

සජබ: ආසන 6

සජබ විසින් ජාතික ජන බලවේගය සමඟ එක්ව ඒකාබද්ධ පාලනයක් පිහිටුවීමට තීරණය කර, නියෝජ්‍ය නගරාධිපති ධුරය හිමිකර ගෙන ඇත. ජාතික ජන බලවේගය, ආසන 3ක් පමණක් හිමිව තිබියදීත්, නගරාධිපති ධුරය ලබාගෙන ඇත.

මෙම ඒකාබද්ධ තීරණය, විපක්ෂයේ අනෙකුත් පක්ෂවල ජ්‍යෙෂ්ඨයින්ගේ අප්‍රසාදයට හේතුවී ඇති අතර, ඉදිරි දේශපාලන සහයෝගීතාවන් සම්බන්ධයෙන් ඔවුන්ගේ ස්ථාවරය තවදුරටත් බලපානු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.


ReeCha