එකාබද්ධවු දෙමළ පක්ෂ හයක් ජනාධිපති හමුවීමට ඉල්ලයි
ඒකාබද්ධව කටයුතු කිරීමට එකඟ වූ දෙමළ භාෂිත දේශපාලන පක්ෂ හයක නියෝජිතයන් ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීම සඳහා නිල ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.
ඔවුන් පවසන්නේ මේ මස මුලදී පක්ෂ අතර ඇති කරගත් ඒකාබද්ධ එකඟතා පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කිරීම සහ ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ලබාදීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ බවයි.
එම එකඟතාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බලාත්මක කිරීම, පළාත් සභා මැතිවරණ පැවැත්වීම, සියලු ප්‍රජාවන්ට බලපාන ඉඩම් ගැටලු විසඳීම සහ සුළුතර ප්‍රජාවන්ට අදාළ ගැටලු සංවාදය මඟින් විසඳීම යන ප්‍රධාන ක්ෂේත්‍ර හතර ඇතුළත් වේ.
ජනාධිපතිවරයා හමුවීමෙන් අනතුරුව විපක්ෂ නායකවරයා සහ ශ්‍රී ලංකාවේ සිටින රාජතාන්ත්‍රික නියෝජිතයන් ද හමුවී මෙම කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව නියෝජිතයන් සඳහන් කරයි.
සිය ඉල්ලීමට ජනාධිපතිවරයාගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි විශ්වාසය පළ කරන ඔවුන්, යුක්තිය, ස්ථාවර සාමය සහ අඛණ්ඩ දේශපාලන ස්ථාවරත්වය ඉලක්ක කරගනිමින් ඒකාබද්ධව ඉදිරියට කටයුතු කිරීමට අපේක්ෂා කරන බවද ප්‍රකාශ කර ඇත.