නිදන් හෑරූ සිද්ධියේ හිටපු DIG ගේ බිරිය ඇතුළු 7ක් වරද පිළිගනී - DIG උදිත් ලියනගේ වරද පිළිනොගනියි
අනුරාධපුර, ශ්‍රාවස්තිපුර, තිඹිරිකඩවල පුරාවිද්‍යා වටිනාකමක් සහිත භූමියක නිදන් වස්තු ලබාගැනීමේ අරමුණින් කැනීම් කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙනතිබුණි.
ඒ අනුව මාස 7ක් රිමාන්ඩ් භාරයේ පසු වූ කොළඹ දිශාව භාරව සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති උදිත් ලියනගේ ගේ බිරිය ඇතුළු සැකකරුවන් හත් දෙනෙකු අද (03) අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබේ.
අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න විසින් මෙලෙස වරද පිළිගත් හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිය වන ඩී.ඒ. ඉන්ද්‍රානී කුමාරි දිසානායක සහ කට්ටඩියෙකු ඇතුළු සැකකරුවන් හත් දෙනාට වෙන් වෙන් වශයෙන් රුපියල් ලක්ෂය බැගින් මුදල් දඩ නියම කළේය.
මෙසේ දඩ නියම වූයේ කොළඹ දිශාව බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති උදිත් ලියනගේ ගේ බිරිය වන වේයන්ගොඩ මල්වාන පදිංචි ඩී. ඒ. ඉන්ද්‍රානී කුමාරි දිසානායක, කට්ටඩියෙකු වන අනුරාධපුර ශ්‍රාවස්තිපුර පදිංචි එච්. එම්. එරන්ද ඉන්දික සිරිවර්ධන, ගිරාඳුරුකෝට්ටේ පදිංචි ආර්. එම්. ගුණරත්න, දැරණියගල විද්‍යාල මාවත, තිහගහවත්ත පදිංචි ආර්. එම්. චම්පික කුමාර, කුරුණෑගල, යන්තම්පලාව පදිංචි කේ. එම්. නිලන්ත රත්නායක පදවි ශ්‍රි තිස්සපුර පදිංචි ඊ. එම්. අනුර පද්මසිරි සහ වරකාපොල, දම්මලදෙණිය පදිංචි අමීර් මුස්තාන් යන සැකකරුවන්ට බව සඳහන් වේ.
මෙම නඩුවේ 7 වන සැකකරු වන හිටපු නියෝජ්‍ය පොලිස්පති උදිත් ලියනගේ සහ 9 වන සැකකරු වන යුද හමුදා සාමාජිකයෙකු වන එම්. පද්මසිරි දිසානායක යන දෙදෙනා තමන්ට එරෙහි චෝදනාවලට වරද පිළි ගෙන නොමැති අතර ඒ අනුව ඔවුන් දෙදෙනා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට මහේස්ත්‍රාත්වරයා මෙහිදි නියෝග කර තිබේ.
හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව නිදන් හෑරීමට ආධාර අනුබල දීම, රජයේ දේපළ අවභාවිත කිරීම සහ නිදන් හාරමින් සිටියදී අත්අඩංගුවට ගත් සිය බිරිය ඇතුළු පිරිස නිදහස් කරන ලෙස අනුරාධපුර පොලිසියට බලපෑම් කිරීම යන චෝදනා එල්ල වී තිබේ.
එමෙන්ම මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අනුරාධපුර පොලිසිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පවරනු ලැබුවේ අධිකරණ නියෝගයක් අනුවයි.