ඉරානයට කරපු විනාශයට ට්‍රම්ප්ට රට ඇතුළින්ම ලෝක නඩුවක් - අනුමැතියක් නැතුව යුද්ධ කළාට විපක්ෂයෙන් විරෝධයක්
ඉරානයට එරෙහිව එල්ල කළ ප්‍රහාරය සේනාධිනායකයා වශයෙන් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඇති බලතල යටතේ සිදු කරන ලද්දක් බවට රිපබ්ලිකන් පක්ෂය තරයේ ප්‍රකාශ කරයි.
ඒ අනුව ඩිමොක්‍රටික් පාක්ෂිකයන් පෙන්වා දෙන්නේ රජය මඟින් ඊට නිසි සාධාරණීකරණයක් ඉදිරිපත් කර නොමැති බැවින් මේ සතියේදී යුධ බලතල පිළිබඳ ඡන්ද විමසීමක් පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවයි.
මෙම තත්ත්වය පිළිබඳව ඊශ්‍රායල සහ එක්සත් ජනපද හමුදා එක්ව ඉරානයට බෝම්බ හෙළීම ආරම්භ කර දින දෙකකට පසුව, රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ, ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්, සීඅයිඒ අධ්‍යක්ෂ ජෝන් රැට්ක්ලිෆ් සහ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ සභාපති ජෙනරාල් ඩෑන් කේන් විසින් කොන්ග්‍රස් නායකයින්ට කරුණු පැහැදිලි කර දී තිබෙනවා.
එමෙන්ම ඊශ්‍රායලය ඉරානයට පහර දීමට සැලසුම් කර ඇති බවත්, ඊට ප්‍රතිචාර ලෙස ඉරානය එක්සත් ජනපද හමුදාවන්ට පහර දීම අපේක්ෂා කළ බවත් දැන සිටි නිසා එක්සත් ජනපදයට ආසන්න තර්ජනයක් එල්ල වී තිබූ බව රාජ්‍ය ලේකම්වරයා මෙහිදී මාධ්‍යවේදීන්ට පවසා ඇත.
එසේම ඊශ්‍රායලයේ මෙම තීරණය නිසා නිර්මාණය වූ එම "ආසන්න තර්ජනය" හමුවේ එක්සත් ජනපදයට ඊට ප්‍රතිචාර දැක්වීමට සිදුවූ බව රිපබ්ලිකන් නීති සම්පාදකයෝ වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
ඒ අනුව ඇමරිකාව මැදිහත් වුවත් නැතත් ඊශ්‍රායලය ක්‍රියාත්මක වීමට අධිෂ්ඨාන කරගෙන සිටි බැවින්, සේනාධිනායකයාට සහ රජයට ඉතා දුෂ්කර තීරණයක් ගැනීමට සිදුවූ බව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායක මයික් ජොන්සන් රහසිග්‍ය සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත පවසා ඇත.
ඔහු එම අවස්ථාවේදී වැඩිදුරටත් සඳහන් කළේ මෙම මෙහෙයුම සීමිත විෂය පථයකින් සහ සීමිත අරමුණකින් යුක්ත වූ, තම ආරක්ෂාව සඳහා අතිශයින්ම අවශ්‍ය වූවක් බවත් එය ඉක්මනින් අවසන් වනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ය.
එසේ වුවත් ඩිමොක්‍රටික් පාක්ෂිකයින් තර්ක කරන්නේ එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් යුද්ධයක් ප්‍රකාශ කිරීමේ තනි අයිතිය ජනාධිපතිවරයාට නොව කොන්ග්‍රසයට ලබා දී තිබෙන බවයි.
එබැවින් නීති සම්පාදකයින්ගේ අනුමැතියකින් තොරව සති ගණනාවක් පුරා ඇදී යා හැකි මෙහෙයුමක් ජනාධිපති ට්‍රම්ප් විසින් ආරම්භ නොකළ යුතුව තිබූ බව ඔවුහු සඳහන් කරයි.
එමෙන්ම ඉරානයට පහර දීමට ස්ථාවර හේතුවක් ඉදිරිපත් කිරීමට රජය අපොහොසත් වී ඇති බවට ද ඔවුහු චෝදනා කර ඇත. මේ පිළිබඳව අදහස් දක්වමින් වර්ජිනියා ප්‍රාන්තයේ ඩිමොක්‍රටික් සෙනෙට් සභික මාර්ක් වෝනර් කියා ඇත්තේ, සතියක් වැනි කෙටි කාලයක් තුළ ඉරානයට පහර දීමට රජය විවිධ හේතු ඉදිරිපත් කර තිබෙන බවයි.
ඒ අනුව ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන විනාශ කිරීම, බැලස්ටික් මිසයිල සංවර්ධනය නැවැත්වීම, පාලන තන්ත්‍රය වෙනස් කිරීම සහ ඔවුන්ගේ නාවික බලඇණිය ගිල්වා දැමීම යනාදී වශයෙන් විවිධ හේතු ඉදිරිපත් වුවත්, ඇමරිකානු අවශ්‍යතාවලට ක්ෂණික තර්ජනයක් එල්ල වී ඇති බවට විශ්වාසදායක සාක්ෂි පෙන්වීමට ට්‍රම්ප්ගේ ඉහළම සහායකයින් අපොහොසත් වී ඇති බවයි.
තවද සඳුදා සවස වන විට මෙම ගැටුම හේතුවෙන් එක්සත් ජනපද හමුදා සාමාජිකයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ට්‍රම්ප් පරිපාලන නිලධාරීන් අඟහරුවාදා දිනයේදී සම්පූර්ණ සෙනෙට් සභාවට සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට කරුණු දැක්වීමට නියමිතයි.
ඉරානේ ලෝකෙන්ම දරුණුවට පළි ගන්න සූදානමක් - හෝමූස් සමුද්‍ර සන්ධිය වසා ඒ හරහා ගියොත් පහරදෙන බවට අනතුරු අඟවයි
ඒ අනුව කොන්ග්‍රස් මණ්ඩලයේ යුධ ප්‍රකාශනයකින් තොරව ඉරානයට දිගින් දිගටම පහර දීමෙන් ජනාධිපතිවරයා වළක්වාලිය හැකි යුධ බලතල යෝජනා පිළිබඳව නීති සම්පාදකයින් මේ සතිය අගදී ඡන්දය ප්‍රකාශ කරනු ඇති බව අපේක්ෂා කරයි.
ජාතික ආරක්ෂක හේතූන් මත සිදුකරන සීමිත ප්‍රහාරයන්ට හැර, එක්සත් ජනපද හමුදාව යුද්ධයකට යැවීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිවන්නේ කොන්ග්‍රසයට බව වාර්තා වේ.
කෙසේ වුවද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සහ සෙනෙට් සභාවේ රිපබ්ලිකන් පක්ෂයට සුළු බහුතර බලයක් ඇති බැවින්, හමුදා ක්‍රියාමාර්ග වෙනුවෙන් නීති සම්පාදකයින්ගේ අනුමැතිය ලබා ගැනීමට ජනාධිපතිවරයාට බල කිරීමේ සෑම උත්සාහයක්ම මෙතෙක් ව්‍යර්ථ වී ඇති බව සඳහන්.