කුඩු තිප්පොලක් හරහා කරගෙන ගිය ඩුබායි සුද්දාගේ දැවැන්ත මත් ද්‍රව්‍ය ජාලයක් කොටු
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන 'ඩුබායි සුද්දා' නමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු ඇතුළු පුද්ගලයන් හත් දෙනෙකු බණ්ඩාරගම, වැල්මිල්ල, අලෝතියාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට බණ්ඩාරගම පොලිසිය සමත්ව තිබේ.
මත්ද්‍රව්‍ය තොග වශයෙන් පැකට් කර බෙදාහැරීම සඳහා පවත්වාගෙන ගිය මධ්‍යස්ථානයක් වැටලීමේදී මෙම පිරිස කොටු කරගෙන ඇත.
බණ්ඩාරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න අමරසේකර මහතාට ලැබුණු පෞද්ගලික තොරතුරකට අනුව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ.
වැටලීම සිදුකරන අවස්ථාවේදී සැකකරුවන් විසින් මත්ද්‍රව්‍ය කුඩා පැකට් ලෙස සකස් කරමින් සිට ඇති අතර, එහිදී රුපියල් ලක්ෂ 15කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් ග්‍රෑම් 50ක් සහ අයිස් (Ice) මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25ක් සොයාගෙන ඇත.
මත්ද්‍රව්‍යවලට අමතරව එම ස්ථානයේ තිබී මත්ද්‍රව්‍ය පැකට් කිරීමට යොදාගන්නා විශේෂිත කඩදාසි, ඉටිකොළ, ජංගම දුරකථන හතරක් සහ ජාවාරම් සඳහා භාවිත කළ මෝටර් රථයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් පිරිස අතර සිටින 'ඩුබායි සුද්දාගේ' ප්‍රධාන ගෝලයා විසින් ප්‍රදේශය පුරා මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවා ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වී ඇත.
සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, මෙම මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන ජාවාරම්කරු විදේශගතව සිටින බැවින් ඔවුන් සමඟ සබඳතා පැවැත්වූ අනෙකුත් පුද්ගලයන් සොයා බණ්ඩාරගම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.