දඬුවම් දීම පිළිබඳ පනත ගුරුවරුන් ඉලක්ක කරගත් සංශෝධනයක් ද?
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ධුරය දරන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළේ, දඬුවම් දීම පිළිබඳ පනතේ සංශෝධනය පාසල් හෝ ගුරුවරුන් ඉලක්ක කරගත් එකක් නොවන බවත්, එය සමස්ත සමාජයේ දරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීමේ අරමුණින් සිදු කළ සංශෝධනයක් බවත්ය.
ජාතික පාසල්වල විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින්, ඊයේ (27) අධ්‍යාපන අමාත්‍යාංශයේදී ඇය මේ බව පැවසුවාය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, මෙම සංශෝධනය පාසල්වලට පමණක් සීමා වූ ප්‍රශ්නයක් නොවන බවත්, එය දරුවන්ට එල්ල වන ශාරීරික සහ මානසික දඬුවම්වලට එරෙහිව සමාජයේ සෑම තලයකම ආරක්ෂාව සහතික කිරීමේ පුළුල් ප්‍රවේශයක් බවත්ය.
මෙම සංශෝධනය ළමුන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම තහවුරු කිරීම සඳහා රජයේ කැපවීමේ කොටසක් ලෙස සැලකේ.
"එය පාසලේ විතරක් නෙවෙයි, ඔබ දන්නවා පොලීසිය විසින් පරිවාසය භාරයට ගත්ත දරුවන්ට, ආයතනගත දරුවන්ට, අතරමං වෙච්ච දරුවන්ට වගේ ම සමාජයේ ඉන්න සියලු ම දරුවන්ට එල්ල වෙලා තියෙන ප්‍රශ්නයක්. ඒක ශාරීරික වත්, මානසික වත් සිදු වෙනවා.
සමාජයේ වැඩිහිටියන්ගෙන් නැත්නම් වගකිව යුතු අයගෙන් ඒ දරුවන්ට සිද්ධ වෙලා තියෙන හිංසනය පිළිබඳ බරපතළ ප්‍රශ්න ගණනාවක් මතු වෙලා තියෙනවා. මේක පාසල් ඉලක්ක කරගෙන නැත්නම් ගුරුවරුන් ඉලක්ක කරගෙන සංශෝධනය වෙච්ච නීතියක් නෙවෙයි. මේක සමස්තයක් හැටියට දරුවන්ට දඬුවම් දීම පිළිබඳ සංශෝධනයක්.
ශාරීරික දඬුවම් පිළිබඳ වත් මානසික හිංසනය පිළිබඳ වත් විශේෂයෙන් ම ආයතනගත වෙච්ච දරුවන්, පොලිසිය භාරයේ ඉන්න දරුවන්, පරිවාස භාරයේ ඉන්න දරුවන් යන මේ සියලුදෙනා ඉලක්ක කරගෙන කෙරෙන සංශෝධනයක්, මේක.
මේකේ මීට වඩා පුළුල් අර්ථයක් තියෙනවා නමුත් දැන් ඇති වෙලා තියෙන සංවාදය තමයි අපිට දරුවන්ගේ විනය පවත්වාගෙන යාම සඳහා දරුවන්ට දඬුවම් කරන්න ම බැරි වෙනවා, කිසි ම දඬුවමක් කරන්න බැරි වෙනවා කියන කාරණය. අපි දඬුවම් දෙන එක කොතනින් වත් නතර කරලා නැහැ. විනය පවත්වාගෙන යෑම අපි තහනම් කරලා නැහැ.
හැබැයි අපි සමාජයක් හැටියට හිතනවා නම් දඬුවම් දිය හැක්කේ දරුවන්ට ශාරීරික ව වද හිංසා දීම තුළින් පමණයි, එහෙම නැත්නම් ඔවුන්ව මානසික ව වට්ටලා විතරයි කියලා. අන්න එහෙනම් අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. විනය පවත්වාගෙන යෑමට වද හිංසා දීම අත්‍යවශ්‍යයි කියලා හිතන සමාජයක් තුළ නම් අපි ජීවත් වෙන්නේ, අපිට කතා කරන්න ගොඩක් දේවල් ඉතුරු වෙලා තියෙනවා, මම හිතන්නෙ.
ඒ නිසා තමයි අපි මේ විවාදය තව දික් කරලා තියෙන්නෙ. මේක සංවාදයට ගත යුතු කාරණාවක්. අපි කියන්නේ දඬුවම් දෙන්න, විනය පවත්වාගෙන යන්න ධනාත්මක දේවලුත් තියෙනවා, කරන්න කියලයි. දරුවෙක්ව ලැජ්ජාවට පත් කරන්නෙ නැතුව වද හිංසා නොකර පීඩනයට ලක් නොකර දඬුවම් දිය හැකි ක්‍රම ඕන තරම් තියෙනවා. ඒවා ගැන අපි වැඩමුළු තියලා සාකච්ඡා කරමු. මීට වඩා අපේ සමාජය තුළ අපිට හිතන්න ඕන කාරණාවක් තියෙනවා.
අපේ සමාජය තුළ ඔබ අද පොලිස් වාර්තා අරගෙන බලන්න. එහෙම නැත්නම් රෝහලකට ගිහිල්ලා බලන්න, අපේ රටේ ආර්ථික අර්බුදයක් පමණක් නෙවෙයි. සමාජ අර්බුද ගණනාවක් නිර්මාණය වෙලා තියෙන බව දකින්න පුළුවන්. ඒ අර්බුද තුළ ගැටුම් කියන්නෙ ප්‍රධාන ම අර්බුදයක්. ඕනෑ ම සමාජයක ගැටුම් තියෙන නමුත් අපේ සමාජයේ ගැටුම් නිරාකරණය කරන ප්‍රධාන ක්‍රමය ප්‍රචණ්ඩත්වය බවට පත් වෙලා තියෙනවා. එක්කයි, ගැටලුව.
ගෘහස්ථ හිංසනය වැඩි වෙලා තියෙන රටක අපි ජීවත් වෙන්නේ. ගෘහස්ථ හිංසනය හිතන්න බැරි විදියට ප්‍රචණ්ඩත්වය බවට පත් වෙලා. අපේ පරම්පරාවේ අය නවක වදය ගැන හිතන කොට තව මත් ඉතා ම ප්‍රේමණීය විදිහටනේ හිතන්නේ. ඒ අපේ වයසෙ අය ලබපු අත්දැකීම් එක්ක. ඒත් අද නවකවදය ළමයින්ට දරාගන්න බැරි තත්වයකට පත් වෙලා.
අපේ සමාජයේ ගැටුම් අපි නිරාකරණය කරන ප්‍රධාන ක්‍රමය ප්‍රචණ්ඩත්වය බවට පත් වෙලා තියෙනවා. ගෘහස්ථ හිංසනය වැඩි වෙලා තියෙන රටක අපි ජීවත් වෙන්නේ. ගෘහස්ථ හිංසනය හිතන්න බැරි විදියට ප්‍රචණ්ඩත්වය බවට පත් වෙලා. ඔබේ දරුවන්ගෙන් කතා කරලා අහන්න නේවාසිකාගාරවල වෙන සිද්ධීන් ගැන.
ප්‍රචණ්ඩත්වය එතන තියෙන්නේ. ආයතන තුළ තරුණ තරුණියන් අතරේ, පන්සල් පල්ලි කෝවිල්වලත් මේ තත්වයන් නිර්මාණය වෙමින් යනවා. එක අතිශයින් ම භයානකයි. එතකොට අපි ගැටුම් නිරාකරණය කිරීම ප්‍රචණ්ඩත්වය තුළින් කළ හැකියි කියලා පිළිගන්න සමාජයක් බවට පත් වෙලා ද? එහෙමනම් ඒක ඉතා බරපතළයි. ඒක ශිෂ්ට සම්පන්න නෑ".