ඉදිකිරීම් කරද්දි මේ වාර්තාව නොගත්ත සැමට අනතුරු ඇඟවීමක් - නිරිතදිග මෝසමත් සමඟ රටටම රතු එළි
ඕනෑම ඉදිකිරීමක් සිදුකිරීමට පෙර අදාළ ආයතනවලින් අවසර ඇතිව නිසි ක්‍රමවේදයක් යටතේ ඉදිකිරීම් සිදුකිරීමෙන් ඉදිරියේ දී සිදුවිය හැකි ආපදා මඟහරවා ගැනීමට බොහෝ සෙයින් ඉඩකඩ ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කරයි.
දිවයින තුළ සක්‍රීයවන නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වය ගැන දැනුවත් කිරීමට රූපවාහිනී වැඩසටහනක් සමඟ එක්වෙමින් එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ, ආචාර්ය වසන්ත සේනාධීර මහතා මේ බව සඳහන් කළ බව වාර්තා වේ.
එහිදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාවේ 60%කට වැඩි ප්‍රමාණයක් ඉදිකිරීම් සිදුකර ඇත්තේ නිසි අවසරයකින් තොරව බවයි.
එබැවින් මෙම ගැටලුවට වැඩි ලෙස මුහුණ දී ඇත්තේ ග්‍රාමීය ජනතාව බවත් එයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ අදාළ ක්‍රමවේදයන් සම්බන්ධයෙන් ඔවුන්ගේ නොදැනුවත්කම බවත් වසන්ත සේනාධීර මහතා වැඩිදුරටත් පැහැදිලි කළ බව සඳහන්.
ඒ අනුව ඔහු පවසා ඇත්තේ,
"නායයෑමේ ප්‍රධාන වශයෙන් දිස්ත්‍රික්ක හයයි. ඊට අමතරව දිස්ත්‍රික්ක අටයි.එතකොට දිස්ත්‍රික්ක දාහතරක ප්‍රදේශයක් ආවරණය වෙනවා. එතනදී අපි ගත්තොත් එහෙම 20%ක ප්‍රමාණයක් ජනගහනයෙන් 30%ක විතර අපි ජීවත් වෙනවා මේ ප්‍රදේශයේ.ඇත්තටම දැන් ලංකාවේ නීතියක් තියෙනවා අපි මොනයම් ආකාරයක හෝ කටයුත්තක් කරනවා නම්, අදාළ පළාත් පාලන ආයතනයෙන් අපි ඒකට අවසරයක් ලබා ගත යුතුයි. අපි එහෙම අවසර ගන්නේ නැතුව තමා ගොඩක් වෙලාවට ලංකාව තුළ මං හිතන්නේ 60%කට වැඩි ප්‍රමාණයක් ඉදිකිරීම් කරලා තියෙනවා. ග්‍රාමීය මට්ටමෙන් ජීවත් වෙන ජනතාව බොහෝ වෙලාවට රටේ පවතින නීති සම්බන්ධව දැනුවත්භාවය අඩුයි. එතකොට රජයේ ආයතනවලට වගකීමක් තියෙනවා ජනතාව දැනුවත් කිරීමට...කඳුකරයේ විශේෂයෙන්ම." "ලංකාවේ පවතින ඉඩම් සම්බන්ධව අපිට විශාල ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ ජීවත් සුදුසු ඉඩම් ලංකාවේ බොහොම සුළු ප්‍රමාණයක් තියෙන්නේ. අපි ඒක නිසි ලෙස කළමනාකරණය කර ගත යුතුයි.
ජනතාව තමන්ට හිතුන හිතුන තැන්වල ජීවත් වෙනවා." "ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් ඇවිල්ලා භූමිය සම්බන්ධව වාර්තාව ලබා දෙනවා. ඇත්තටම මේ වාර්තාව ලබාගත යුතුයි. මොකද අපි ජීවිත කාලයම හරි හම්බකරගත්ත ධනය තමා මේ සම්බන්ධව අපි යොමු යොදවන්නේ. එතකොට ඉතාම සුළු මොහොතකින් ඒ සියලු දේවල් අපිට නැති වී යාමේ හැකියාව පවතිනවා." "ක්‍රමවේදයක් තියෙනවා. එම ක්‍රමවේදයට ජනතාව අනුගත කළ යුතුයි. ඒ ඊට පස්සේ ජනතාව එම ක්‍රමවේදය පිළිපදිනවාද කියන එක අපි පසු විපරම් කළ යුතු වෙනවා. මොකද අපේ රටේ ගොඩක් වෙලාවට පසු විපරම් කියන කතාවක් නැහැ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නෛතික අයිතිය තියෙන්නේ එම ස්ථානය පරීක්ෂාවට ලක් කරන්න. ඒ අනුව වාර්තාව ලබාදිය හැකියි. අපිට කොහොමද කරන්නේ කියලා උපදෙස් දෙන්න පුළුවන්. ඒක කරනවාද නැද්ද කියන එක බලන්න ඕන පළාත් පාලන ආයතනය සතු වගකීමක්." "ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඔබ යම් ආකාරයක ඉදිකිරීමක් කරනවා නම්, ඉදිරියට ඔබ සැලසුම් කරනවා නම්, ඒ සම්බන්ධව අදාළ ආයතනවල උපදෙස් ලබාගෙන, එම උපදෙස් මත එම කටයුත්ත කරන්න. එතකොට ඔබට යම් ආකාරයක ආරක්ෂිත තත්ත්වයක් එතනදී තිබෙනවා." "අපේ විද්‍යාඥයන් ගිහිල්ලා, අපේ නිලධාරීන් එම සමස්ත ස්ථානය බලලා ලබා දෙන්නේ ඒ උපදෙස්. එතකොට ඒ සම්බන්ධව ඇත්තටම නිරන්තරයෙන්ම සැලකිලිමත් විය යුතුයි. ජනතාවගෙන් ඉල්ලා සිටිනවා තමන්ට අවශ්‍ය කරන උපදෙස් ලබාගෙන එම කටයුත්ත කරනවා නං මෙම අනතුරුදායක තත්ත්වයෙන් අපිට මඟ හැරීමට බොහෝ විට අවස්ථාවන් තියෙනවා."