දිස්ත්‍රික්ක දෙකක සියලු පාසල් වසා දමයි.

Weather Education Jaffna Kilinochchi School closed
By Aruna Nov 09, 2021 08:03 AM GMT
Aruna

Aruna

Report

මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශයන්ට බලපා ඇති දැඩි අයහපත් කාලගුණික තත්ත්වය නිසා පාසල්වල අධ්‍යන කටයුතු කරගෙන යාමට පවා අපහසු තත්ත්වයක් උදාවී තිබෙනවා.

මේ හේතුවෙන් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට(10) දිනයේ වසා දැමීමට තීරණය කර තිබේ.

කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ, අධික වර්ෂාපතනය හේතුවෙන් පීඩාවට පත්ව ඇති දරුවන් උදෙසා මෙම තීරණය ගත් බවයි.

මේ අතර පවතින අධික වර්ෂාව හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ සියලු පාසල් අද දිනයේ වසා තැබීමට දිස්ත්‍රික් ලේකම්වරයා කටයුතු කළා.

මේ අතර මහඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් අලව්ව, දිවුලපිටිය, මීරිගම, පන්නල, වෙන්නප්පුව, මීගමුව, කටාන, නාරාම්මල සහ දංකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් පහත්බිම් ප්‍රදේශවලට විශාල මට්ටමේ ගං වතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

මේ වන විටත් ගිරිඋල්ල නගරය ජලයෙන් යට වී ඇති අතර, ඒ හේතුවෙන් මීගමුව - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු අඩාල වී තිබෙනවා.

එසේම අලව්ව නගරය ද මේ වන විට ජලයෙන් යට වී ඇති අතර, කොළඹ - කුරුණෑගල මාර්ගයේ ගමනාගමනයට ද ඒ අනුව බාධා එල්ල වී ඇති බවයි හිරු ප්‍රදේශීය වාර්තාකරු උපාලි සමන්ත කියා සිටියේ.

මේ, මහඔය පිටාර ගැලීමෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් ද ජලයෙන් යට වී තිබෙනවා. හලාවත - ආනමඩුව මාර්ගයේ ද ගමනාගමනයට බාධා එල්ල වී ඇත්තේ ජලයෙන් යටවීම හේතුවෙන්.

එමෙන්ම, හලාවත - මැරවල, බණ්ඩරවත්ත, පම්බල ඇතුළු ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී ඇති අතර, හලාවත මහරෝහලේ වාට්ටු කිහිපයක් ද ජලයෙන් යට වූ බවයි අප වාර්තාකරු කියා සිටියේ.

අධික වර්ෂාව හේතුවෙන් පුත්තලම නගරයේ සිට කොළඹ දෙසට ඇති පාලවි ප්‍රදේශය සහ පුත්තලම සිට කුරුණෑගල මාර්ගයේ අරලිය උයන, දෙකේ කණුව, තම්බපණ්ණි ප්‍රදේශවල මාර්ග ජලයෙන් යට වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

ඒ 9 මාර්ගය මහනුවර - දුනුවිල ප්‍රදේශයෙන් ජලයෙන් යට වී ඇති බව අප වාර්තාකරු සදහන් කළා.

මේ අතර, බදුල්ලේ සිට මහනුවර බලා අද පෙරවරුවේ ධාවනය වූ දුම්රියක් හාලිඇල හා උඩුවර දුම්රිය ස්ථාන අතර දී පීලි පැනීමකට ලක්ව ඇත්තේ ලිස්සා යාම හේතුවෙන්.

එසේම, දුම්රිය මාර්ගයට හානි සිදු වීම නිසා ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනය කොළඹ සිට පොල්ගහවෙල දක්වා සීමා කර තිබෙනවා.

එසේම හලාවත සහ පුත්තලම අතර දුම්රිය ධාවන කටයුතුවලට ද බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ නිල්වලා, කළු, කැලණි සහ ගිං ගංඟා මෙන්ම අත්තනගලු ඔයේ ද ජල මට්ටම ඉහළ ගොස් ඇති බැවින් ආශ්‍රිත පහත්බිම්වල ජනතාව ද දැඩි අවධානයෙන් පසුවිය යුතු බවයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ, මේ වන විට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 77කට අයත් පවුල් 1836ක පුද්ගලයින් 7167ක් පීඩාවට පත්ව ඇති බවයි.

නිවාස 14කට පූර්ණ වශයෙන් හානි සිදු වී ඇති අතර, නිවාස 796කට අර්ධ වශයෙන් හානි වී තිබෙනවා.

අද උදෑසන 8.30න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර් 300.4 අනුරාධපුර - නොච්චියාගම ප්‍රදේශයට ලැබී තිබෙනවා.

ඊට අමතරව අනුරාධපුර - රනෝරාව ප්‍රදේශයට මිලිමීටර් 260ක්, යාපනයට මිලිමීටර් 243ක්, අනුරාධපුර - රඹෑවට මිලිමීටර් 210ක්, කෑගල්ල - වේවැල්තලාවට මිලිමීටර් 200ක්, කෑගල්ල - වාගොල්ල ප්‍රදේශයට මිලිමීටර් 180.5ක වර්ෂාපතනයක් ලැබී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha