සනත් නිශාන්තගේ නඩුවෙන් හදිසියේම විනිසුරුවරයෙකු ඉවත්වෙයි..!
අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට එරෙහිව ගොනුකර ඇති පෙත්සම් විභාගයෙන් ඉවත්වී තිබේ.
අද (27) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා විවෘත අධිකරණයේ සඳහන් කළේ විනිසුරු චමත් මොරායස් මහතා මෙම නඩු විභාගයෙන් ඉවත් වන බවය.
මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණේ, ඉකුත් වසරේ අගෝස්තු මස 23 වන දා හෝ ඊට ආසන්න දිනයකදී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළ වගඋත්තරකාර සනත් නිශාන්ත මහතා අරගල කරුවන්ට ඇප ලබා දීමේදී මහේස්ත්‍රාත්වරු කටයුතු කළ ආකාරය විවේචනය කිරීම හරහා ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් ඔහුට නිසි දඬුවම් පමුණුවන ලෙසත් ඉල්ලමින්ය.
ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය, විජිත කුමාර සහ ප්‍රියලාල් සිරිසේන යන නීතිඥවරු විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.
මොරායස් විනිසුරුවරයා හලාවත අධිකරණ කලාපයේ සේවය කරද්දී වගඋත්තරකාර සනත් නිෂාන්ත මහතාව රක්ෂිත බන්ධනාගාර ගතකිරීමේ නියෝගයක් නිකුත් කර ඇති හෙයින් මෙම නඩුව විමසීමට ඔහු අකමැත්ත පළ කර ඇති බවයි, මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා පැවසුවේ.
ඒ අනුව අදාළ පෙත්සම් විභාගය ලබන 31 වනදා නැවත කැඳවීමට නියම කළ අධිකරණය එදින නව විනිසුරු මඩුල්ල නම් කරන බවත් සඳහන් කර තිබේ.
