වෛද්‍යවරියගේ රාජකාරියට බාධා කළ නගරාධිපති රිමාන්ඩ් (VIDEO)
කොරෝනා එන්නත්කරණය අතරතුර වෛද්‍යවරුන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු ලබන මස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, සැකකරු අද දහවල් මොරටුව අතිරේක මහේස්ත්‍රාත් උද්දාල සුවන් දුරුගොඩ හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදියි. මොරටුව මහ නගර සභාවේ නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු අද උදෑසන අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ, ඊයේ මොරටුමුල්ල ප්‍රදේශයේ පැවති එන්නත්කරණ වැඩසටහන අතරතුර වෛද්‍යවරුන්ගේ රාජකාරියට බාධා කිරීම සහ නිරෝධායන නීති උල්ලංඝනය කිරීමේ චෝදනා මතයි.
ඊයේ එන්නත්කරණ වැඩසටහන අතරතුර උණුසුම් තත්වයක් ඇතිවූයේ මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු විසින් යොමු කරනු ලැබූ පිරිසකට එන්නත් ලබාදීමට ප්‍රමුඛත්වය ලබාදිය නොහැකි බවට ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය ප්‍රකාශ කිරීමත් සමඟයි. අනතුරුව මේ සම්බන්ධයෙන් අදාළ වෛද්‍ය නිලධාරින් විසින් පොලීසියට පැමිණිලි කළ අතර, ඒ අනුවයි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වුණේ.
කෙසේ වෙතත් නගරාධිපතිවරයා අද උදෑසන ගල්කිස්ස පොලීසිය වෙත භාරවුණා. අත්අඩංගුවට ගත් මොරටුව නගරාධිපතිවරයා මේ වනවිට මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි ජුනි මස 11 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකලේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |