ඩුබායිහිදී ඇල්ලූ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන බස් ලලිත් දිවයිනට රැගෙන එයි
ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නොහොත් 'බස් ලලිත්' නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (25) අලුයම දිවයිනට රැගෙන විත් තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා සඳහන් කළේ කළුතර දකුණ ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි මෙම සැකකරුට එරෙහිව මනුෂ්‍ය ඝාතන, සංවිධානාත්මක අපරාධ සහ කප්පම් ගැනීම් ඇතුළු චෝදනා රැසක් එල්ල වී ඇති බවයි. ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර රතු නිවේදන පවා නිකුත් කර තිබූ අතර, අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවකට අදාළව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය මගින් මෙම රතු නිවේදනය ලබාගෙන තිබුණි.
මීට අමතරව, මිනීමැරීමේ වරදට අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් කොළඹ මහාධිකරණයෙන් මොහුට එරෙහිව විවෘත වරෙන්තුවක් නිකුත් කර ඇත.
එමෙන්ම 2021 වසරේ නෙලුන්තුඩුව ප්‍රදේශයේ පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල කිරීම සහ 2022 වසරේ පුද්ගලයින් තිදෙනෙකුට කපා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් ද අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණය මගින් මොහුට එරෙහිව විවෘත වරෙන්තු නිකුත් කර තිබේ. දිවයිනට රැගෙන ආ සැකකරු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන පවත්වයි.
[QDUJDPC