තෙවැනි රන්දෝලි පෙරහැර අද - ක්‍රියාත්මක වන රථ වාහන සැලැස්මක් ගැන දැනුම්දීමක්

Report

 මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ තෙවන රන්දෝලි පෙරහර අද (25) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතව ඇති අතර, ඒ වෙනුවෙන් මහනුවර නගරය ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි.

අගෝස්තු 18 වන දින ආරම්භ වූ මෙවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය අගෝස්තු 28 වන දින දක්වා පැවැත්වෙන අතර, මෙම කාලසීමාව තුළ නගරයට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත දෙස් විදෙස් බැතිමතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් විශේෂ ආරක්ෂක යොදවීම් දියත් කර ඇත.

ඩුබායිහිදී ඇල්ලූ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන බස් ලලිත් දිවයිනට රැගෙන එයි

ඩුබායිහිදී ඇල්ලූ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන බස් ලලිත් දිවයිනට රැගෙන එයි

ඒ අනුව නගරයට ඇතුළු වන ස්ථානවල මාර්ග බාධක යෙදවීම, රථවාහන හා පුද්ගලයින් දැඩි පරීක්ෂාවට ලක්කිරීම, පැමිණෙන සංචාරකයින්ට මඟ පෙන්වීම සහ විශේෂ රථවාහන ගාල් කිරීමේ පහසුකම් සපයා තිබේ.

පෙරහර පැවැත්වෙන කාල සීමාව තුළ මහනුවර ප්‍රධාන මාර්ග කිහිපයක ගමනාගමනය සීමා කෙරෙන අතර, රථවාහන තදබදය අවම කරගැනීම සඳහා පොලීසිය විසින් හඳුන්වා දී ඇති විකල්ප මාර්ග සහ විශේෂ ගමනාගමන සැලැස්ම අනුගමනය කරන ලෙස මහජනතාවගෙන් සහ රථවාහන රියදුරන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

විකල්ප මාර්ග

කටුගස්තොට සිට මහනුවර නගරයට පැමිණෙන සියළුම බර වාහන මහයියාව හන්දියෙන් තිලක් රත්නායක මාවත ඔස්සේ පොලිසිය හන්දියෙන් මහනුවර නගරය වෙත ගමන් කළ හැකිය. කටුගස්තොට දෙසින් පැමිණෙන සැහැල්ලු වාහන ඩී.එස්. සේනානයක වීදිය ඔස්සේ පැමිණ හරස් වීදිය ඔස්සේ යටිනුවර වීදියට පැමිණ දකුණට හැරී මීරමක්කම් පල්ලිය අසලින් වමට ධාවනය කර තිලක් රත්නායක මාවත ඔස්සේ ගමන් කළ හැකිය.

කටුගස්තොට දෙසට පිටවන වාහන පොලිසිය හන්දියෙන් තිලක් රත්නායක මාවත ඔස්සේ මහයියාව දෙසට ගමන් කළ හැකිය. තැන්නේකුඹුර හා අම්පිටිය දෙසින් පැමිණෙන වාහන සංඝරාජ මාවතඔස්සේ වේල්ස් පාර්ක් හන්දියට පැමිණ ඇහැලේපොළ කුමාරිහාමි මාවතෙන් දකුණට හැරී බෝගම්බර, දුම්රිය පොළ අසලින්ද කොළඹ දෙසට ගමන් කරන වාහන වම් පසටද, නගරය දෙසට ගමන් කරන වාහන දකුණු පසටද ගමන් කල හැක.

එසේම රජපිහිල්ල මාවත හන්දියෙන් පල්ලිය පාර ඔස්සේ මහනුවර නගරයට ඇතුළු විය හැකිය. නගරයේ සිට අම්පිටිය, තෙල් දෙණිය මාර්ගයේ ගමන් කරන වාහන ඔරලෝසු කණුව වටරවුමෙන් දළඳා වීදිය ඔස්සේ පැමිණ රැජිණ හෝටලයේ පැති දොරටුව අසලින් ජෝයි බෝට්ටු සේවය පසු කර සංඝරාජ මාවත ඔස්සේ ගමන් කල හැක.

තවද, බෝගම්බර වට රවුමේ ඇහැලේපොළ කුමාරිහාමි මාවත, රජපිහිල්ල මාවත, වේල්ස් පාර්ක් හන්දිය හරහා සංඝරාජ මාවත ඔස්සේ අම්පිටිය හා තැන්නේකුඹුර දෙසට ගමන් කළ හැකිය. කොළඹ දෙසින් මහනුවර නගරයට ඇතුළු වීමට හා මහනුවර නගරයෙන් කොළඹ දෙසට පිට වීමට විලියම් ගොපල්ලව මාවත හා පරණ පේරාදෙණිය පාර දෙපසටම භාවිතා කල හැකිය.