සජිත් ප්‍රේමදාස ආණ්ඩුවට අනතුරු අගවයි
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ සමගි ජන බලවේගය ජනතාවගේ ප්‍රශ්න අවබෝධ කර ගත් ශක්ති සම්පන්න බලවේගයක් විය යුතු බවයි.
මාතලේ දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රී සංසදය අමතමින් විපක්ෂ නායකවරයා පැවසුවේ,
“ලක්ෂ 220ක් අපේ රටේ ජනතාව මෑත කාලයේ ජනාධිපතිවරණ දෙකකදී රැවටුණා. 2019 ජනාධිපතිවරණයෙන් පසු රට බංකොලොත් වූණා. 2024 ජනාධිපතිවරණයේදී බොරුව, මුසාව සහ මුළාව නිසා රට අන්තරාදායක තත්ත්වයට පත් වුණා. වසර 2028 රට මුහුණදීමට නියමිත අභියෝගය ගැන හොඳ අවබෝධයක් තිබිය යුතුයි. 2028 වන විට වාර්ෂිකව ඩොලර් බිලියන 5ක ණය ගෙවීමට සිදු වෙනවා. එය සිදු කිරීම නම් රටේ ආර්ථික වර්ධන වේගය වේගවත් විය යුතුයි. කර්මාන්ත, කෘෂිකර්මාන්ත, සංචාරක, සේවා ආදී සෑම ක්ෂේත්රයකම දියුණුවක් සිදු විය යුතුයි. එසේ කළොත් 2028 සිට ණය ගෙවීමට හැකි වෙනවා. නමුත් මේ යන වේගයට ගියොත්, මේ යන ආකාරයට ආර්ථිකය වර්ධනය නොවුණොත්, ලැබිය යුතු ඍජු විදේශ ආයෝජනවලින් ලැබෙන්නේ තුනෙන් එකක් නම් ණය ගෙවිය නොහැකිව නැවත වරක් බංකොලොත් වෙනවා.
පසුගිය රජයේ අයි.එම්.එෆ්. ගිවිසුම ගැන උපදෙස් දුන් ආර්ථික උපදේශකවරුන් කියන්නේ මේ යන ක්‍රමයට නම් ණය ගෙවන්න බැරි බවයි. ඒ අයම තමයි 2033 සිට ණය ගෙවිය යුතුව තිබියදී 2028 ණය ගෙවිය යුතු වසර ලෙස තීන්දු කළේ. 2028දී ණය ගෙවන්න බැරි වුණොත් බංකොලොත් යන නාමය රටට ලැබෙනවා. අයි.එම්.එෆ්. එක 2033 සිට ණය ගෙවන්න ප්‍රමාණවත් යැයි කියද්දීත් 2028 ණය ගෙවන්න පොරොන්දුවී තිබෙනවා. ඒ සඳහා මේ වසර තුනේ ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් ලබා ගත යුතුයි. විදේශ සංචිත පවත්වා ගෙන යා යුතු වුවත් සිදු වන්නේ රැවටිල්ල, බොරුව පමණයි.” යැයි පැවසුවේය.