සාගර සහ නන්දිමිත්‍ර යළි විසාකාපට්නම් බලා පිටව යයි
ඉන්දීය නාවික හමුදාව විසින් 13 වැනි වරට සංවිධානය කරන MILAN - 26 බහුපාර්ශ්වික නාවික අභ්‍යාසය සහ ජාත්‍යන්තර යුද නෞකා නිරීක්ෂණයට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් සාගර සහ නන්දිමිත්‍ර නෞකා ඊයේ (11) කොළඹ වරායෙන් දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.
සුහදත්වය, එකමුතුකම සහ සහයෝගීතාව යන තේමාව යටතේ පැවැත්වෙන MILAN - 26 නාවික අභ්‍යාසය සහ සාගර හරහා එක්සත් වීම යන තේමාව යටතේ සංවිධානය වන ජාත්‍යන්තර යුද නෞකා නිරීක්ෂණය, ඉන්දියාවේ විසාකාපට්නම් වරාය සහ බෙංගාල බොක්ක ආශ්‍රිත නැගෙනහිර ඉන්දීය මුහුදු තීරය කේන්ද්‍ර කරගනිමින් එළැඹෙන 18 වැනිදා සිට 26 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
මෙම බහුපාර්ශ්වික නාවික අභ්‍යාසයට කලාපීය හා කලාපීය නොවන රටවල් රැසක නාවික හමුදා, වෙරළාරක්ෂක බළකා සහ සමුද්‍රීය පාර්ශ්වකරුවන්ගේ යුද නෞකා, ගුවන් යානා සහ සබ්මැරීන ද එක්වීමට නියමිතව ඇත.
මෙම අභ්‍යාසයට සහභාගීවන සාගර නෞකාවේ අණදෙන නිලධාරි ලෙස කපිතාන් නිලංග ධර්මරත්න මහතා කටයුතු කරන අතර නන්දිමිත්‍ර නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කපිතාන් ලෝහිත ද සිල්වා මහතා කටයුතු කරයි.