රජයට සම්බන්ධ කෙනෙක් සබරගමු සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා ලෙස පත් කෙරේ..ගම්වාසීන්ගෙන් දැඩි විරෝධයක්..
සබරගමුව සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරා පත්කර ගන්නා තෙක් මාස තුනක කාලයක් සඳහා ස්වාධීන පුද්ගලයකු පත් කිරීමට ප්රදේශයෙන් පුද්ගලයකු තෝරා පත්කර ගන්නා ලෙස ඉල්ලා සිටියද මේ වන විට ඒ සඳහා ගම්වාසීන් ඉදිරිපත් කළ යෝජනාව ඉවත ලා රජයට සම්බන්ධ දේශපාලන පක්ෂයකින් පුද්ගලයකු පත්කර ඇති බවට සමන් දේවාලය සුරැකීමේ සංවිධානය චෝදනා කර සිටිනවා.
දේවාලය සුරැකීමේ සංවිධානය පවසන්නේ, පසුගිය දෙසැම්බර් 23 වැනිදා පැවැති රත්නපුර දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී සභාපතිවරයා විසින් මෙසේ ගමේ පුද්ගලයෙකු ඒ සඳහා පත්කිරීම තමන්ගේ බලාපොරොත්තුව බව පවසා ඇති අතර ඔහු එහිදී ප්රකාශ කළේ ප්රාදේශීය ජනතාව යෝජනා කරන අවංක, ස්වාධීන පුද්ගලයෙක් තාවකාලික භාරකාර තනතුරට පත් කරන බව පැවැසූ බවයි.
එහෙත් ප්රදේශ වාසීන් සුදුසු පුද්ගලයෙක් යෝජනා කිරීමට යන විට, රජයට සම්බන්ධ රත්නපුර දේශපාලන අධිකාරීය තම හිතුමතයට පක්ෂයෙන් කෙනෙක් පත්කර ඇති බවයි, එම සංවිධානය පවසන්නේ.
මෙම අත්තනෝමතික දේශපාලන පත් කිරීමට සමන් දේවලය ආශ්රිත ජනතාව සහ දේවාලයේ රාජකාරී මණ්ඩලය දැඩි අප්රසාදයක් පළ කරන බවයි මෙම සංවිධානය ප්රකාශ කර සිටින්නේ.
You May Like This Video