මේ වන්දිය දෙන්නේ ආපදාවෙන් පූර්ණ ලෙස හානි වූ නිවාසවලට පමණයි - ජනපති
රුපියල් ලක්ෂ 50ක් රජයෙන් ලබා දෙන්නේ ආපදාවෙන් පූර්ණ ලෙස හානි වූ නිවාස හිමියන්ට (භාණ්ඩ ඇතුළු තක්සේරුව) පමණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරයි.
එසේම ජනාධිපතිවරයා තවදුරටත් සඳහන් කළේ ඒ අයුරින් පූර්ණ වශයෙන් නිවාස හානි වූ පිරිස 418ක් බවත් ඔවුන්ට එම ලක්ෂ පනහක මුදල ලබාදීමට සූදානම් බවත් ය.
එබැවින් පූර්ණ වශයෙන් සහ අර්ධ වශයෙන් හානි වූ නිවෙස් ලෙස කාණ්ඩ දෙකක් වෙන් වෙන්ව පවතින අතර විශේෂයෙන්ම නිවාස අහිමි වී නැති නමුත් එම ප්‍රදේශවලට යා නොහැකි පුද්ගලයන් ප්‍රමාණයක් සිටින බැවින් ඔවුන්ගේ දත්ත පද්ධතිය සකස් කර එයට ලබාදිය හැකි සහන ලබාදීම් තක්සේරු කරමින් සිටින බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.
ඔහු පැවසුවේ, අවතැන් කඳවුරුවල සිටීමට නොහැකි නම් ඔවුන්ට මාසිකව රුපියල් 25,000ක නිවාස කුලියක් ලබා දීමට ද රජය සූදානම් බවයි.
ඒ අනුව ජනවාරි හා පෙබරවාරි මාස දෙකට රුපියල් පනස් දහසක් ලබාදීමට කටයුතු කරන බවද පවසයි.
එමෙන්ම ඉඩමක් නොමැති පුද්ගලයන්ට ලක්ෂ පනහ දක්වා උපරිමයකට යටත්ව මුදලක් ලබා දීමට සූදානම් බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.
මෙහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ නිවාසවලට යා හැකි නමුත් අර්ධ වශයෙන් හානි වූ ඒවා තක්සේරු කොට උපරිම ලක්ෂ විසි පහකට අදාළව වන්දි ලබාදීම සිදු කරන බවයි.