මේ පාරේ යන්න එපා - සියලුම රියදුරන්ට විශේෂ දැනුම්දීමක්
මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා විසින් මහනුවර මහියංගණය මාර්ගයට ගල් සහ පස් කඳු පෙරළිම් සිදු වීම හේතුවෙන් එම මාර්ගය භාවිතා කිරීමෙන් හැකි තාක් වළකින මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ඒ අනුව අද (26) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා මේ බව සඳහන් කර ඇත.
එහිදී තවදුරටත් ඔහු කියා සිටියේ,
"මහනුවර දිස්ත්‍රික්කයට මේ දිනවල ඇද හැළෙන අධික වර්ෂාව නිසා දිස්ත්‍රික්කයේ ජන ජීවිතයට බලපෑම් ඇති වෙලා තියෙනවා. කඳු සහිත මාර්ගවල ගමනාගමනය අවදානම් තත්වයට පත් වෙලා තියෙනවා. උඩදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවධානය විසින් නායයෑමේ රතු නිවේදනය නිකුත් කරල තියෙනවා. මහනුවර මහියංගණය මාර්ගයේ මේ වන විට සුළු ගල් සහ පස්කඳු කඩා වැටීම් කිහිපයක් වාර්තා වෙලා තියෙනවා. ඒ නිසා මහනුවර මහියංගණය මාර්ගයේ ගමන් කරන රියදුරන්ගෙන් අපි ඉල්ලන්න කැමැතියි මේ තත්ත්වය ගැන අවධානය යොමු කරන්න කියලා මේ මාර්ගය අත්‍යාවශ්‍ය කටයුතු වලට පමණක් සීමා කරන්න කියලත් ඉල්ලනවා. ඒ වගේම මිමුරේ ප්‍රදේශයට විනෝද චාරිකා සඳහා ගමන් කිරීමෙන් වළකින ලෙසත් ඉල්ලා සිටිනවා." යනුවෙන්.
කෙසේ වෙතත් මහනුවර දිස්ත්‍රික්කයේ යම් හෙයකින් ආපදා තත්ත්වයක් ඇති වුණොත් පොලීසිය හමුදාව ඇතුළු සියලු ආයතන ආපදා කළමණාකරණ ඒකකයත් එක්ක සම්බන්ධ වෙලා ඒ කටයුතු කළමණාකරණය කරන බවත් දිස්ත්‍රික් ලේකම් වරයා මෙහිදී පැවසුවා.