SDIG රන්මල් කොඩිතුවක්කු ඇතුළු නිලධාරීන් රාජකාරිය පැහැර හැරලා.. මත්ද්‍රව්‍ය බහාලුම් සිද්ධිය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
කොළඹ වරායේ බහාලුමක මත්ද්‍රව්‍ය තොගයක් තිබෙන බවට ලැබුණු තොරතුර සම්බන්ධයෙන් පියවර ගැනීමේ දී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා ඇතුළු අදාළ නිලධාරින් විසින් රාජකාරිය පැහැර හැරීමජ් සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කර ඇත්තේ පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් සිදුකළ විමර්ශනයට අනුව මේ සම්බන්ධයෙන් අනාවරණය වී තිබෙන බවයි.
ඉකුත් අගෝස්තු මස 31 වන දින කොළඹ වරායේ බහාලුමක තිබී මත්ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමේ සිද්ධියට අදාළව පොලිස්පතිවරයාගේ නියෝග අනුව පොලිස් විශේෂ විමර්ශන ඒකකය මඟින් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකර ඇත.
අඳාළ පරීක්ෂණයේ දී හෙළි වී ඇත්තේ, නීතිවිරෝධී මත්ද්‍රව්‍ය තොගයක් අඩංගු බහාලුම් දෙකක් ශ්‍රී ලංකාවට අනායනය කර කොළඹ වරායේ ඇති බවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාට අගෝස්තු මස 14 වන දින තොරතුරක් ලැබී තිබෙන බවයි.
ඒ අනුව අඳාළ තොරතුර එදිනම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත දන්වා ඇති බව ද වාර්තා වේ.
මේ අතර අගෝස්තු මස 22 වන දින මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂක ඒකනායක නිලධාරියාට ද මෙම තොරතුර ලැබී තිබෙන අතර ඔහු ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගෙන අගෝස්තු 31 වන දින කොළඹ වරායට ගොස් රේගු නිලධාරින් සමඟ බහාලුම විවෘත කර මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති බව පොලීසිය පැවසූ බව සඳහන්.
එහිදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් ද එම ස්ථානයට පැමිණ තිබෙන බවත් මත්ද්‍රව්‍ය තොගය සොයාගැනීම සිදුකර ඇත්තේ, මුලිකවම මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශ විසින් බවත් හෙළි වී ඇති බව වාර්තා වේ.
එබැවින් අදාළ තොරතුර සම්බන්ධයෙන් පියවර ගැනීමේ දී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා ඇතුළු නිලධාරින් රාජකාරිය පැහැර හැරීම් සිදුකර ඇති බවටත් නොසැලිකිලිමත් ලෙස ක්‍රියාකර ඇති බවටත් පොලිස් විශේෂ විමර්ශන ඒකකය මඟින් සිදුකළ විමර්ශනයේ දී හෙළි වී ඇති බව වාර්තා වේ.
එබැවින් අදාළ විමර්ශනයට අමතරව අපරාධ විමර්ශනයක් සිදුකිරීම සුදුසු බව පොලිස් විශේෂ විමර්ශනය ඒකකය විසින් වාර්තා කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
එමෙන්ම පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත්තේ පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ වාර්තාවට අනුව රන්මල් කොඩිතුවක්කු මහතාට මෙම මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් ලත් තොරතුර පිළිබඳ පියවර ගැනීමේදී අනාවරණය වී ඇති පැහැර හැරීම් සහ නොසැලකිල්ල සඳහා හේතු වී ඇත්තේ යම් පාර්ශ්වයකට වාසි සහගත තත්ත්තවයක් ඇති කිරීම සඳහා ද යන්න සොයා බැලීමටයි.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ඒ ඔස්සේ අදාළ පොලිස් නිලධාරීන්ට එරෙහිව අපරාධ චෝදනා සංස්ථාපනය වන්නේ ද යන්න පිළිබඳව තහවුරු කරගැනීමට නියමිත බවයි.