සීතා සහ කෛකේයීගේ ඇඳුම් ගැන මතුවූ කතාබහට - ‘රාමායණ’ නිර්මාණකරුවන්ගෙන් ප්‍රතිචාර
‘රාමායණ’ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නිකුත් වීමත් සමඟ එහි චරිත ඇඳුම් නිර්මාණ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ විවිධ අදහස් සහ විවේචන මතුව තිබේ.
විශේෂයෙන් සයි පල්ලවි නිරූපණය කරන සීතා චරිතයේ ඇඳුම් රටාව සහ ලාරා දත්තා නිරූපණය කරන කෛකේයී චරිතයේ පෙනුම පිළිබඳව විවිධ මත පළ වූ අතර, ඇතැම් පිරිස් ඒ සම්බන්ධයෙන් උපහාසාත්මක ප්‍රතිචාරද පළ කර තිබුණි.
මෙම විවේචන පිළිබඳව චිත්‍රපටයේ ඇඳුම් නිර්මාණකරුවන් වන රිම්පල් සහ හර්ප්‍රීත් නරුලා අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ, මෙවැනි ප්‍රතිචාර පැමිණෙන බව තමන් පෙර සිටම අපේක්ෂා කළ බවයි. රිම්පල් පවසා ඇත්තේ, පරම්පරා ගණනාවක් පුරා ජන මනස තුළ ජීවත්වන ‘රාමායණය’ වැනි මහා කාව්‍යයක් සම්බන්ධයෙන් චරිත නිරූපණය, ඇඳුම් සහ දෘශ්‍ය නිර්මාණ පිළිබඳ විවිධ අදහස් ඇති වීම ස්වභාවික බවයි.
''මම භාවනා කරමින් සීතා මෑණියන්ට යාච්ඤා කළා'' - සීතා මෑණියන්ගේ චරිතය රඟපෑම ආශීර්වාදයක් බව සායි පල්ලවි කියයි
සීතා චරිතයේ ඇඳුම් නිර්මාණය පිළිබඳව අදහස් දක්වමින් ඇය සඳහන් කර ඇත්තේ, එය ඓතිහාසික සාධක පමණක් මත නොව, තමන්ගේ පෞද්ගලික අවබෝධය සහ ආගමික-සංස්කෘතික සිතුවිලි මත ගත් නිර්මාණාත්මක තීරණයක් බවයි.
ඇඳුම් නිර්මාණය සඳහා පර්යේෂණය මූලික පදනමක් වුවද, එය කලාවක් බවට පත්වන්නේ නිර්මාණාත්මක අර්ථකථනය හරහා බවද ඇය පෙන්වා දී තිබේ. එමෙන්ම රාමායණ කතාව විවිධ රටවල හා සංස්කෘතික පසුබිම්වල විවිධ ආකාරයෙන් අර්ථකථනය වී ඇති බවද ඇය සඳහන් කර ඇත.
මේ අතර, කෛකේයී චරිතයේ ඇඳුම් නිර්මාණය පිළිබඳව හර්ප්‍රීත් නරුලා සඳහන් කර ඇත්තේ, එහි සෑම වර්ණයකටම සංකේතාත්මක අර්ථයක් ලබාදී ඇති බවයි. කෛකේයීගේ ඇඳුමේ කොළ පැහැය මව්ත්වය නිරූපණය කරන අතර, ගැඹුරු මැරූන් පැහැය ඇය මුහුණ දෙන මානසික ගැටුම සහ ශක්තිය නිරූපණය කරන බව ඔහු පැහැදිලි කර ඇත.
පුරාණ කතාවක් නව පරපුරට දෘශ්‍යමය අත්දැකීමක් ලෙස ඉදිරිපත් කිරීම තම අරමුණ බව සඳහන් කළ නිර්මාණකරුවන්, චිත්‍රපටය නැරඹීමෙන් අනතුරුව අදහස් පළ කරන ලෙස ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා තිබේ.
ජූලි 30 වැනිදා නිකුත් කළ ‘රාමායණ’ පූර්ව ප්‍රචාරක පටයේ රන්බීර් කපූර් රාම ලෙසත්, සයි පල්ලවි සීතා ලෙසත්, යෂ් රාවණ ලෙසත්, ලාරා දත්තා කෛකේයී ලෙසත් රංගනයෙන් එක්ව සිටිති. එමෙන්ම රවි ඩුබේ, අරුන් ගෝවිල්, රකුල් ප්‍රීත් සිං, ශෝභනා සහ විවේක් ඔබරෝයි ඇතුළු රංගන ශිල්පීන් ද මෙම නිර්මාණයට එක්ව ඇත.