මිහින්තලේ අලි ඝාතනයට සම්බන්ධ සියලු දෙනාට දඬුවම් දෙන්න - සජිත්
අනුරාධපුර මිහින්තලේ සීප්පුකුලම ප්‍රදේශයේදී අලියකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සියලු දෙනාට භේදයකින් තොරව දඬුවම් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.
සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් කළ විශේෂ පණිවිඩයකදී ඔහු කියා සිටියේ, මිහින්තලේ අඹගහ වැව ප්‍රදේශයේදී පිරිසක් විසින් අලියාට ගිනි තැබීම නීච සහ නින්දිත ක්‍රියාවක් බවයි.
වගකිව යුතු සියලු දෙනා නීතිය හමුවට ගෙන ආ යුතු බවත්, මෙවැනි ම්ලේච්ඡ සිදුවීම් වැළැක්වීමට රජය, වනජීවී දෙපාර්තමේන්තුව සහ සිවිල් සමාජය එක්ව කටයුතු කළ යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.
එවැනි නින්දිත ක්‍රියාවන් මුළු ජාතියම හෙළා දැක වහාම නතර කළ යුතු බවද විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.
රෝගී අලියාට ප්‍රතිකාර කළ වනජීවී පශු වෛද්‍යවරුන්ට සහ නිලධාරීන්ට උපහාර දක්වමින් ඔවුන්ගේ සේවයට කෘතඥතාව පළ කළ සජිත් ප්‍රේමදාස මහතා, මෙවැනි ක්‍රියාවන් සිදුකරන ඕනෑම අයකුට ඊට වගකිව යුතු බව පෙන්වීම සඳහා සිද්ධියට සම්බන්ධවූවන්ට එරෙහි නීතිමය ක්‍රියාමාර්ග ප්‍රමාදයකින් තොරව ක්‍රියාත්මක කළ යුතු බවද සඳහන් කළේය.
පරිසරවේදියකු ලෙස ඔහු මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශෝකය පළ කළ අතර, ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම වැඩිවෙමින් පවතින බවත්, එය අවම කිරීමට පැහැදිලි ප්‍රජා පාදක වැඩසටහනක් අවශ්‍ය බවත් පෙන්වා දුන්නේය.
සමගි ජන බලවේගය අලි-මිනිස් ගැටුම විසඳීමට සහ මිනිසුන්ගේ මෙන්ම අලින්ගේ ජීවිත ආරක්ෂා කිරීමට ගන්නා උත්සාහයන්ට සහාය වීමට කැපවී සිටින බවද ඔහු පැවසීය.
සම්පත් හිඟ වනජීවී දෙපාර්තමේන්තුව ප්‍රමාණවත් මානව සහ භෞතික සම්පත්වලින් ශක්තිමත් කරන ලෙසත්, අලි-මිනිස් ගැටුම වැළැක්වීමට ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙසත් විපක්ෂ නායකවරයා රජයෙන් ඉල්ලා සිටියේය.
අලි - මිනිස් සහ මිනිස්-වනජීවී ගැටුම් ඇති ප්‍රදේශවල පාසල්වලින් ආරම්භ වන ජාතික දැනුවත් කිරීමේ ව්‍යාපාරයක අවශ්‍යතාවද ඔහු අවධාරණය කළේය.
අලි - මිනිස් ගැටුම වැළැක්වීමට පැහැදිලි වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය අපොහොසත් වී ඇති බවත්, එබැවින් හදිසි ජාතික සැලැස්මක් හඳුන්වා දිය යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් සඳහන් කළේය.