සෞඛ්‍ය ලේකම්ගේ ලිපියක් ගැන ගැටලුවක්

covid19 infections PHI vaccination health secretary
By Sewvandhi Jun 28, 2021 08:41 AM GMT
Sewvandhi

Sewvandhi

Report

විදේශගතව සිට දිවයිනට පැමිණෙන පුද්ගලයින් අතරින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් ඉහළ යාම සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනාරල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.

ඊයේ මෙරටින් වාර්තා වූ ආසාදිතයින් 1,867 දෙනා අතර එවැනි ආසාදිතයින් 100 දෙනෙකු වනවා. ඊයේ මෙරටින් හඳුනාගත් ආසාදිතයින් අතරින් 1,767 දෙනෙකු අලු‍ත් අවුරුදු පොකුරේ ආසාදිතයන්. විදෙස්ගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන් 100 දෙනෙකුද ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබුණා.

ගෙවුණු දිනයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 575ක් වාර්තා වුණා. එම දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයන් 171 ක් ලෙස වාර්තා වූයේ නිට්ටඹුව ප්‍රදේශයෙන්. කොළඹ දිස්ත්‍රික්කයෙන් ගෙවුණු දිනය තුළ ආසාදිතයන් 339 ක් වාර්තා වුණා. මීට අමතරව නුවරඑළිය, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවලින්ද ගෙවුණු දිනය තුළ ආසාදිතයින් 100 ඉක්මවමින් වාර්තා වුණා.

මෙරට කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ගෙවුණු දිනයේදී පළමු සහ දෙවැනි මාත්‍රා වශයෙන් ලබා දුන්එන්නත් මාත්‍රා ප්‍රමාණය 40,703 ක්. කොළඹ මහනගර සභා සීමාවේ වෙසෙන කොවිෂිල්ඩ් එන්තතේ පළමු මාත්‍රාව ලබාගත් වයස අවුරුදු 70ට වැඩි පුද්ගලයින් සඳහා එම එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීමේ වැඩපිළිවෙල අද සිට ආරම්භ වුණා.

කොළඹ - සුගතදාස ක්‍රීඩාංගනයේ පිහිටුවා තිබූ එන්නත් මධ්‍යස්ථානයේදී සිදුවූ එන්නත් වැඩසටහනට පැමිණි පිරිසක් චෝදනා කළේ තමන්ට ස්ථාවර දුරකථනයට ලැබුණු දැනුම්දීමකට අනුව පැමිණියද ගැටලු‍ සහගත තත්ත්වයකට මුහුණ දීමට සිදු වූ බවයි. මේ අතර කොවිඩ් මරණ බැහැරලීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා නිකුත් කර ඇති ලිපියකට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විරෝධය දක්වනවා.

එසේම, බස්නාහිර පළාතේ සෞඛ්‍ය රියදුරන් අද සිට ලබන ජූලි 2 වනදා දක්වා වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. බස්නාහිර පළාත් ප්‍රවාහන හා ගිලන් රථ සංගමයේ සභාපති ප්‍රදීප් නිශාන්ත සිල්වා අද මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ වැටුප් සහ නිවාඩු ඇතුලු ගැටලු රැසක් මුල් කර ගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වූ බවයි.

මේ අතර, අද විශාල රථවාහන ප්‍රමාණයක් කොළඹ නගරය වෙත පැමිණෙන ආකාරයද දක්නට ලැබුණා. ලංකා ගමනා ගමණ මණ්ඩලය සඳහන් කළේ බස්රථ 4,000ක් අද සිට පාළාත් තුළ ධාවනයට එක් කළ බවයි. එමෙන්ම ඇතැම් පෞද්ගලික බස්රථද ධාවනයට එක් කර තිබූ අයුරු දක්නට ලැබුණා.

කෙසේ වෙතත්, බස්රථ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මගීන් අපහසුතාවට පත්ව සිටි බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. දුම්රිය ගමන්වාර 35ක් බස්නාහිර පළාත තුළ උදෑසන කාලයේ ධාවනයට එක් කර තිබූ අතර ඒවා පස්වරුවේද ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා. මේ අතර, නිරෝධායන නීති උල්ලංඝනය කළ 428 දෙනෙකු ගතවූ දිනයේදී අත්අඩංගුවට ඇති අතර, මහියංගනය - ගැමුණුපුර ප්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරියට බාධා කළ පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙන තිබුණා.

කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන රත්නපුර සහ මොණරාගල දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් අද පෙරවරු හයේ සිට හුදෙකලා කර තිබෙනවා. ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල පොලිස් බල ප්‍රදේශයේ නොරගල්ල ග්‍රාම නිලධාරී වසමේ නොරගල්ල ඉහළ කොටස, යක්දෙහිවත්ත ග්‍රාම නිලධාරී වසමේ පින්කන්දවත්ත එක සහ දෙක කොටස් මෙන්ම පාතකඩ ග්‍රාම නිලධාරී වසමේ පින්කන්දවත්ත තුන කොටස හුදෙකලා කෙරුණා. මීට අමතරව මොණරාගල පොලිස් බල ප්‍රදේශයේ හිඳිකිවුල ග්‍රාම නිලධාරී වසමේ නක්කලවත්ත සහ මිල්ලකැලේවත්ත යන ගම්මාන අද පෙරවරු හයේ සිට හුදෙකලා කර තිබෙනවා. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now