කොළඹ මහ නගර සභාවේ බලය විපක්ෂයට..?
කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා විපක්ෂයේ පොදු එකඟත්වය මත සමගි ජනබලවේගය විසින් තම පක්ෂයේ නියෝජිතයෙකු ඉදිරිපත් කරන බවත්, නියෝජ්‍ය නගරාධිපති ධුරය එක්සත් ජාතික පක්ෂයට ලබාදීමට එකඟත්වයකට පත්ව ඇති බවත්, සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසීය.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ මෙසේය:
“පළාත් පාලන ආයතන ගණනාවකට කොමසාරිස්වරුන් විසින් බහුතර කැමැත්ත මත සභාපතිවරුන් සහ නගරාධිපතිවරුන් පත් කිරීමට යෝජනා කර ඇති අතර, අපි විශ්වාස කරනවා විපක්ෂයේ එක්සත් ප්‍රතිසංහිඳියාවක් සහිතව බහුතරයක් දිනාගත හැකි තත්ත්වයක් තිබෙනවා.
විශේෂයෙන්ම කොළඹ මහ නගර සභාව සම්බන්ධයෙන් බලය විපක්ෂයට හිමි වන අතර එම බහුතරය තුළ ස්වාධීන කණ්ඩායම්ද අන්තර්ගතය.
ආණ්ඩුව විවිධ වරදාන සහ වරප්‍රසාද ඔස්සේ සභිකයන්ගේ සහය ලබාගැනීමට උත්සාහ කරනවා. කෙසේවෙතත්, අපට දැඩි විශ්වාසයක් තියෙනවා සමගි ජනබලවේග නියෝජිතයෙකු නගරාධිපති ලෙස පත් කිරීමට හැකියාව ඇතැයි.
අප නගරාධිපතිධුරය සඳහා අපේ නාමයෝජිතයා ඉදිරියේදී නම් කරනවා. තවත් දින දෙකක් තුළ කණ්ඩායම රැස්වී පොදු එකඟතාවයකින් වැඩි කැමැත්තක් ඇති නියෝජිතයෙකු ඉදිරිපත් කරනවා. එක්සත් ජාතික පක්ෂය පැහැදිලිවම අපට සහය දැක්වූ පක්ෂය වන අතර, ඔවුන් නියෝජ්‍ය නගරාධිපති ධුරය බලාපොරොත්තු වනවා. ඔවුන් විපක්ෂයේ දෙවැනි විශාලතම පක්ෂය වන නිසා, එම ධුරය ඔවුන්ට ලබාදීමට අපි එකඟ වෙලා තියෙනවා.”
