අප්‍රේල් ඉඳන් රටම අඳුරේ - විදුලි අර්බුදයක් ගැන මහජන උපයොගීතා කොමිෂමෙන් අනතුරු ඇඟවීමක්
ප්‍රමිතියකින් තොර ගල් අඟුරු ආනයනය කිරීම නිසා මෙම වර්ෂයේ (2026) අප්‍රේල්,ජුනි,ජූලි මාසවලදී මෙරට විදුලි උත්පාදනයට බාධා ඇතිවීමේ අවදානමක් පවතින බවත් එම තත්ත්වය දිගටම පැවතියොත් විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවත් එම ගල් අඟුරු සම්බන්ධයෙන් නිකුත් කරන ලද වාර්තාවේ මහජන උපයොගීතා කොමිෂන් සභාව(PUCSL) මඟින් සඳහන් කර ඇත.
ඒ අනුව එහි දැක්වෙන්නේ සාමාන්‍ය තත්ත්වයන් යටතේ විදුලි ඉල්ලුම පිළිවෙලින් මෙගාවොට් 3030,3070 සහ 3000 දක්වා ළඟා වුවහොත් අප්‍රේල්, ජුනි සහ ජූලි මාසවලදී ජනන ධාරිතාවේ හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බවයි.
එම වාර්තාවේ දැක්වෙන ආකාරයට 2026 වසර තුළ මෙතෙක් වාර්තා වූ උපරිම රාත්‍රි ඉල්ලුම පෙබරවාරි 25 වන දින වාර්තා වූ මෙගාවොට් 2949ක් බවයි.
එසේම ඉන් පෙන්වා දෙන්නේ පවතින ඒකක /බලාගාර අතුරින් එක් ගල් අඟුරු ඒකකයක් හෝ එක් බලාගාරයක් අක්‍රිය වුවහොත් විශේෂයෙන් අප්‍රේල්, ජුනි සහ ජූලි මාසවලදී රාත්‍රි උපරිම ඉල්ලුම සපුරාලීමට ජනන ධාරිතාව මදිවීමේ අවදානමක් පවතින බවයි.
තවද බලාගාරය ස්ථාවරව සහ ආරක්ෂිතව පවත්වාගෙන යාමට නොරොච්වෝලේ ලක්විජය බලාගාරයේ ජනන ධාරිතාව තවදුරටත් අඩුකිරීමට සිදුවුවහොත් එම ජනන ධාරිතාවේ හිඟයේ අවදානම තවදුරටත් ඉහළ යා හැකි බව එම වාර්තාවේ දක්වා ඇත.
කෙසේ වෙතත් මතභේදාත්මක ගල් අඟුරු සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිෂන් සභාව සිදුකළ විමර්ෂණ වාර්තාව පාර්ලිමේන්තුවේ යටිතල පහසුකම් සහ උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත මේ වන විට භාරදී ඇති බව සඳහන්.