කාබනික පොහොර නිෂ්පාදනයට ගොවියන්ට මුදල් (VIDEO)

organic chemical fertilize agriculture department mahindhanandha aluthgama
By Sewvandhi Jun 18, 2021 10:49 AM GMT
Sewvandhi

Sewvandhi

Report

එළඹෙන මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදන හා සැපයුම පිළිබඳ සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්වුණා. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා, රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා මැතිතුමා, අමාත්‍යාංශ රැසක ලේකම්වරුන්, රාජ්‍ය සංස්ථා, මණ්ඩල සභාපතිවරුන් හා අධ්‍යක්ෂ ජනරාල්වරුන් යුධ හමුදාවේ හා සිවිල් ආරක්ෂක බලකාය ප්‍රධානින් නියෝජනය කරමින් එහි නිලධාරීන් මෙම සාකච්ඡාවට එක්වුණා.

මේ වන විටත් කාබනික පොහොර නිෂ්පාදන කටයුතු බොහෝ ආයතන ආරම්භ කර ඇති බව මෙහිදී ඔවුන් හෙළි කලා. හෙක්ටයාරයක් සඳහා කාබනික පොහොර 500kg ක් ශාක පෝෂක ඇමෝනියම් ඇසිඩ් 5 kg ක් පොටෑසියම් 35kg හා ජෛව පොහොර ලීටර් 10 ක් නිර්දේශ කර තිබෙනවා.

You may like this video


වගා කෙරෙන හෙක්ටයාර ලක්ෂ 16 වෙනුවෙන් මෙම නිර්දේශයන්ට අනුව කාබනික පොහොර නිෂ්පාදන කටයුතු සඳහා සියලු ආයතන සම්බන්ධීකරණයෙන් ජාතික අවශ්‍යතාවය සම්පූර්ණ කර ගැනීම රජයේ අරමුණයි.

මීට අමතරව හෙක්ටයාරයක් සඳහා කාබනික පොහොර නිෂ්පාදනය කරන එක් ගොවියෙකුට රුපියල් 10000 ක මුදලක් ලබා දීමටත් තීරණය කර තිබෙනවා. කාබනික පොහොර නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඉඩම්, තාක්ෂණය, යන්ත්‍ර සූත්‍ර, උපකරණ අවශ්‍ය පරිදි ලබා දීමටද පියවර ගෙන තිබෙනවා.

පළාත් පාලන ආයතන, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය, මිල්කෝ සමාගම, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා ඒ ආශ්‍රිත ගොවිපළවල්, ජනතා වතු සංවර්ධන මණ්ඩලය ඇතුළු වතු සමාගම්, ලංකා පොස්පේට් සමාගම, ඉඩම් ප්‍රතිසංස්කරණ බල මණ්ඩලය, පළාත් සභා, මහවැලි අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ධීවර අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ ගණනාවක්, ජල සම්පාදන මණ්ඩලය, සමුපකාර දෙපාර්තමේන්තුව, යුධ හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ආදී බහුවිධ ආයතන කාබනික පොහොර ජාතික අවශ්‍යතාවය ඉටු කිරීමට අවශ්‍ය නිෂ්පාදන කටයුතු කිරීමට පියවර ගෙන අවසන්.

රණවිරු සේවා අධිකාරිය හරහා ආබාධිත හා විශ්‍රාමික රණවිරුවන්ගේද ආර්ථිකය නගා සිටුවමින් කාබනික පොහොර නිෂ්පාදනයට යුධ හමුදා ගම්මාන ආශ්‍රිත විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇති බව රණවිරුසේවා අධිකාරියේ සභාපතිතුමිය මෙහිදී ප්‍රකාශ කළා. ඉදිරි සතියේ ඒ ඒ ආයතන ජාතික පොහොර අවශ්‍යතාවය වෙනුවෙන් නිෂ්පාදනය කළ හැකි කාබනික පොහොර ප්‍රමාණය දැනුම් දෙන බව මෙහිදී ප්‍රකාශ කළා.

එළඹෙන මහ කන්නය වෙනුවෙන් සැප්තැම්බර් මුල වන විට නිෂ්පාදනය කළ හැකි කාබනික පොහොර ප්‍රමාණයන් පිළිබඳ මෙහිදී දීර්ඝව සාකච්ඡා කළා. සියලු පුද්ගලයින් හා ආයතන නිෂ්පාදනය කරන ප්‍රමිතියෙන් යුත් කාබනික පොහොර රාජ්‍ය පොහොර සමාගම් හරහා ගැටලුවකින් තොරව මිළට ගැනීමටද වැඩපිළිවෙල සකස්කර අවසන්.

වස විස නැති පාරිසරික කාබනික කෘෂිකර්මය තුළින් ලෝකයේ කාබනික ගෙවත්ත ශ්‍රී ලංකාව කිරීමට මේ අයුරින් හැකි සියලු දේ කාර්යක්ෂමව සිදු කරමින් සිටින බවයි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදී ප්‍රකාශ කළේ.

ගොවි ජනතාවත්, රටේ ජාතික නිෂ්පාදනයටත්, පාරිභෝගිකයාටත්, කාබනික ගොවිතැන තුලින් නිරෝගි පරපුරක් බිහිකරන උතුම් වැඩපිළිවෙලටත්, කිසුදු අවැඩක් සිදු නොවන ප්‍රායෝගික වැඩපිළිවෙලක් සියල්ලන්ගේ සහයෝගයෙන් එක රටක් එකම වැඩ බිමක් ලෙස ක්‍රියාත්මක කරමින් පාරිසරික කාබනික කෘෂිකර්මාන්තයෙන් රට ඉදිරියට ගෙනයාමට අවශ්‍ය පියවර කෘෂිකර්ම අමාත්‍යාංශය ක්‍රියාවට නංවා ඇත.

*සුජිත් විතානපතිරණ*

ගරු කෘෂිකර්ම අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම්