අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිවත් කොමිසමට පැමිණිල්ලක් - හේතුව මෙන්න
ඒකාබද්ධ විපක්ෂය කොමිසමේ සභාපති විනිසුරු ඩබ්.එම්.එන්.පී. ඉද්දවෙල මහතා විසින් වර්තමාන රජයට සම්බන්ධ ප්‍රබලයින්ට එරෙහිව ලැබී ඇති දූෂණ පැමිණිලි සම්බන්ධයෙන් ම්ලෑලි ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට චෝදනා කරමින්, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව වහාම විනය පරීක්ෂණයක් පවත්වන මෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.
එම ඉල්ලීමෙහි ජී. එල්. පීරිස් ඇතුලු ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ගේ අත්සන් සහිත බව සඳහන්.
ඒ අනුව නීතිය සෑම පුද්ගලයෙකුටම තාරාතිරම නොබලා එක හා සමානව ක්‍රියාත්මක විය යුතු බව අවධාරණය කරමින්, ඒකාබද්ධ විපක්ෂය මඟින් යොමු කරන ලද අඳාළ ලිපිය මඟින් ප්‍රධාන පෙළේ ආන්දෝලනාත්මක සිදුවීම් කිහිපයක් පිළිබඳව කොමිසමේ අවධානය යොමු කර ඇත.
එනම්,
1. කපිල චන්ද්‍රසේනගේ අභිරහස් මරණය සහ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මැදිහත්වීම
දැඩි මානසික පීඩනය: ඇප මත මුදාහැර සිටි කපිල චන්ද්‍රසේන නැමැත්තාගේ ඇප නියෝගය අවලංගු කිරීමට අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලීමක් කිරීම හේතුවෙන් ඔහු දැඩි මානසික පීඩනයකට ලක් වූ බවත්, පසුව සිදු වූ ඔහුගේ අභිරහස් මරණයට පෙර ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශය මඟින් තමන්ට එල්ල වූ තර්ජන පිළිබඳව අනාවරණය කර ඇති බවත් විපක්ෂය සඳහන් කරයි.
බලතල ඉක්මවා යෑම: කටඋත්තර ලබාදීමට පැමිණෙන පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කිරීමට විමර්ශන නිලධාරීන්ට මිස අධ්‍යක්ෂ ජනරාල්වරයාට ප්‍රතිපාදන නොමැති පසුබිමක, ඔහු සිය වපසරියෙන් බැහැරව අත්තනෝමතික ආකාරයට කටයුතු කර ඇත්දැයි සොයා බැලීම කොමිසමේ වගකීමක් බව ලිපියේ සඳහන්.
2. ප්‍රභූන්ට එරෙහි පැමිණිලි යට ගැසීමේ චෝදනා
කථානායක ජගත් වික්‍රමරත්න: ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයාට එරෙහිව සිදු කර ඇතැයි කියන දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ පැමිණිල්ලට මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති අතර, එහි වත්මන් ප්‍රගතිය දැනගැනීමේ අයිතියක් ජනතාවට ඇති බව විපක්ෂය පෙන්වා දෙයි. විදුලිබල හා
බලශක්ති අමාත්‍ය ජයකොඩි: අමාත්‍යවරයා රාජ්‍ය සේවකයෙකු වශයෙන් සිටි සමයේ සිදු වූ අක්‍රමිකතා පිළිබඳ නඩුවේදී කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පක්ෂග්‍රාහීව කටයුතු කර ඇති බවට චෝදනා කරයි. විපක්ෂ ක්‍රියාකාරිකයින් වහාම අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කිරීමට කටයුතු කරන කොමිසම, අමාත්‍යවරයා සම්බන්ධයෙන් එවැනි පියවරක් නොගැනීම පිළිබඳව ජනතාව තුළ සැකයක් පවතින බව ලිපියේ දක්වා ඇති බව පවසයි.
බාල ගල්අඟුරු වංචාව: බාල ගල්අඟුරු ගෙන්වීමට අදාළව සිදුවූ දූෂණ හා අක්‍රමිකතා රාශියක් පිළිබඳව පැමිණිලි ඉදිරිපත් කර ඇතත්, ඒවා පිළිබඳව කිසිදු විමර්ශනයක් සිදුවන බවක් දක්නට නොලැබෙන බව විපක්ෂය සඳහන් කරයි.
ඒ අනුව වත්මන් රජයට සම්බන්ධ පුද්ගලයින් රැසකට එරෙහිව විවිධ පාර්ශවයන් මඟින් කරන ලද, එහෙත් මෙතෙක් කොමිසමෙන් විමර්ශනය කර නොමැති ලිඛිත පැමිණිලි ඇතුළත් විශේෂ ලේඛනයක් ද ඒකාබද්ධ විපක්ෂය මඟින් මෙම ලිපියට අමුණා එවා ඇති බව සඳහන්.
මේ අතර මේ සම්බන්ධයෙන් වාචිකව කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා දීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය කොමිසමේ සභාපතිවරයාට ස්තූතිය පළ කර ඇති අතර, වගකිව යුතු විපක්ෂයක් වශයෙන් සිය සමාජ වගකීම ඉටු කිරීමට තමන් නියෝජනය කරන කණ්ඩායමට කඩිනම් සාකච්ඡාවක් ලබා දෙන ලෙස ද ගරු සභාපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින බව වාර්තා වේ.