ගල් අඟුරු ටෙන්ඩර් ගැටලුවට ස්වාධීන පරීක්ෂණයක් අවශ්‍යයි - විපක්ෂ නායක ඉල්ලයි
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ(20) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේ, නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයට ගල් අඟුරු සැපයීමේ ටෙන්ඩර් ක්‍රියාවලියේ ඇති ගැටලු සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි.
ස්ථාවර නියෝග 27(2) යටතේ මෙම ගැටලුව සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් ඔහු මේ බව පැවසීය. රටේ විදුලි නිෂ්පාදනයේ ප්‍රධාන බලාගාරයක් වන ලක්විජයට ගල් අඟුරු සැපයීමේ ටෙන්ඩරයේ අසාර්ථකත්වය සහ විනිවිදභාවයෙන් තොර තීරණ ගැනීම් පිළිබඳ මහජන අවධානය යොමු වී ඇති බවත්, ටෙන්ඩරය කැඳවූ ආකාරය සහ මෙගාවෝට් 900ක බලාගාරයකට දෛනිකව මෙට්‍රික් ටොන් 2500ක් සහ වාර්ෂිකව මිලියන 1.5ක් අවශ්‍ය වුවත්, මැයි මාසයේ වාරකන් නිසා ගොඩබැම අපහසු නිසා අප්‍රේල් මාසයේ ඇණවුම් කළ යුතු වුවත් රජය එම වැඩපිළිවෙළින් බැහැර වී ඇති බවත් ඔහු සඳහන් කළේය.
ටෙන්ඩරයක් දින 42ක් ක්‍රියාත්මක විය යුතු වුවත් මෙයට ලබා දී ඇති කාලය දින 21 දක්වා අඩු කර ඇති බවත්, ඒ සඳහා අනුමැතිය දුන් වාර්තා සභාගත කරන ලෙසත්, මීට පෙර සහ මෙවර ටෙන්ඩර්වල තාක්ෂණික උපදෙස් සහ කොන්දේසි ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.
මෙම ටෙන්ඩරය සඳහා ඉදිරිපත් වූ ලන්සු සංඛ්‍යාව සහ රජය තෝරාගත් සැපයුම්කරුවන්ට මෙවැනි බලාගාරවල අත්දැකීම් තිබේ නම් ඒවා ඉදිරිපත් කරන ලෙසත්, රටේ මූලික විදුලි නිෂ්පාදන වගකීම නුසුදුසු සමාගමකට ලබා දුන්නේ නම් එහි වගකීම ඉදිරිපත් කරන ලෙසත් ඔහු පැවසීය.
ගල් අඟුරුවල ශුද්ධ NCP අගය 5900ක් විය යුතු බැවින් මෙම ටෙන්ඩරය ඊට නොගැලපෙන බවට වාර්තා ලැබී ඇත්නම් ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසද ඔහු ඉල්ලීය. පරීක්ෂණ වාර්තා ලැබීමට පෙර මෙම ගල් අඟුරු බොයිලේරුවලට ඇතුළත් කර ඇත්නම් ඒ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කරන ලෙසත්, ඒ සඳහා බලපත්‍ර සහ අනුමැතිය දුන් අයත්, ගල් අඟුරු සාම්පල් ඉන්දියාවට යවා පරීක්ෂා කළ නම් ඒ වාර්තා ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
මේ නිසා රුපියල් බිලියන 10කට වැඩි පාඩුවක් රජයට සිදු වී ඇත්දැයි දැන ගැනීමට අවශ්‍ය බවත්, මෙයට හේතු වූ අමතර විස්තර ඉදිරිපත් කරන ලෙසත්, අමතර ගල් අඟුරු දහනය නිසා වසරට අවශ්‍ය ප්‍රමාණය අඩු වන බවත්, බාල ගල් අඟුරු නිසා බොයිලේරුවලට වන හානි ඉදිරිපත් කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.
මෙම ටෙන්ඩර් පටිපාටිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් අවශ්‍ය බවත්, ආංශික අධීක්ෂණ කාරක සභාව හරහා ප්‍රශ්න කිරීමේදී අඩුපාඩුවක් සිදු වී ඇති බව පිළිගෙන ඇති නිසා මේ සම්බන්ධයෙන් ෆොරෙන්සික් ඔඩිට් එකක් සිදු කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යෝජනා කළේය.