ඔන්ලයින් මත්පැන් අලෙවි ඉල්ලීම මුදල් අමාත්‍යංශයට

online liquor delivery kapila Kumarasinghe
By Sewvandhi Jun 15, 2021 11:47 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මේ වන විට දිවයින පුරා ක්‍රියාත්මක වන සංචරණ සීමා හේතුවෙන්, නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය සහ අලෙවිය බරපතල සමාජ ගැටළුවක් බවට පත්ව ඇති බව, සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ පවසනවා. ඔහු පවසන්නේ, සංචරණ සීමා බල පැවැත්වෙන කාල සීමාව තුළදී නීති විරෝධී මත්පැන් අලෙවිය පෙර නොවු විරූ ආකාරයට වර්ධනය වී ඇති බවයි.

එමෙන්ම, මෙම නීතිවිරෝධී නිෂ්පාදනවලට ඉතා ඉහළ මිලක් ද නියම වී ඇති බව ඔහු වැඩිදුරටත් පවසනවා. මෙම තත්ත්වය යම් තරමකින් හෝ පාලනය කර ගැනීමට ජාලගත හෙවත් "ඔන්ලයින්" ක්‍රමය යටතේ නීත්‍යානූකූල මත්පැන් සාධාරණ මිලට ලබා දීම සඳහා ආයතන රැසක් සහ පුද්ගලයින් ගණනාවක් සුරාබදු දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීම් කර ඇති බවයි, කොමසාරිස්වරයා වැඩිදුරටත් කියා සිටියේ.

පවතින තත්ත්වය සලකා බලා ඒ සඳහා යම් කිසි ප්‍රවේශයක් ලබා දිය හැකි දැයි මේ වන විට අධ්‍යනය කරමින් සිටින බව, ඔහු අද පැවති ප්‍රවෘත්තී සාකච්ඡාවකදී කියා සිටියා. මේ සඳහා වන අවසර ලබා ගැනීමේ ක්‍රියා පටිපාටිය සඳහා මුදල් අමාත්‍යංශය වෙත මේ වන විට ලිපියක් හරහා ඉල්ලීමක් ද සිදු කර ඇති බවයි, සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පවසා සිටියේ. මේ ආකාරයේ ජාලගත ක්‍රමයකට මත්පැන් අලෙවිය සඳහා අවසර ලබා දීමට නම් ඒ සඳහා මුදල් අමාත්‍යංශ අනුමැතිය අනිවාර්යෙන් ලබා ගත යුතු වනවා.

කෙසේ වෙතත්, මේ දක්වාත් සිය ලිපියට මුදල් අමාත්‍යංශයෙන් පිළිතුරක් හිමි වී නොමැති බවයි, සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ කියා සිටියේ. එමෙන්ම, පසුගිය කාල සීමාව තුළදී නීති විරෝධී ලෙස නිෂ්පාදනය කළ මත්පැන් පානය කිරීමෙන්, අවස්ථා ගණනාවකදී විශාල පිරිසක් මිය ගොස් ඇති බවත්, ඔහු සඳහන් කළා.

සංචරණ නීති පනවා ඇති කාල සීමාව තුළදී නීති විරෝධී මත්පැන් ස්කාගාර 50කට අධික ප්‍රමාණයක වැටලීම් සිදු කොට ඒවා පවත්වාගෙන ගිය පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නීති මඟින් කටයුතු කළ බවත්, නීති විරෝධී මත්පැන් මිලදී ගැනීම සහ භාවිතයෙන් මහජනතාව ඈත් විය යුතු බවත්, සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now