හෙද සංගමයේ ඉල්ලීම් 7 න් 5කට එසැණ විසදුම් ලබා දීමට ජනපති තීරණය කරයි

Gotabaya rajapaksha
By Sithumi Jul 02, 2021 03:33 PM GMT
Sithumi

Sithumi

Report

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඉදිරිපත්කළ ඉල්ලීම් හතෙන් පහකට එසැණ විසඳුම් ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගත් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ඉතිරි ඉල්ලීම් දෙකට අදාළ විසඳුම් මීළඟ අයවැයෙන් ලබාදීමටද ජනාධිපතිවරයා එකඟතාව පළකර තිබේ.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සමඟ අද (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා එම තීරණවලට එළැඹි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

01. හෙද සරසවිය ආරම්භ කිරීම.

02. යහපාලන රජය සමයේ 2017.12.07 හා 32/2017 මගින් අත්හිටුවා ඇති මාණ්ඩලික තත්ත්වය නැවත ලබාදීම.

03. අත්හිටුවා ඇති iii ශ්‍රේණියෙන් iiශ්‍රේණියට උසස්වීම වසර පහක් ලෙස හා ii ශ්‍රේණියෙන් i ශ්‍රේණියට වසර හතෙන් උසස් කිරීම.

04. රුපියල් විසිදහසක වාර්ෂික නිල ඇඳුම් දීමනාව ලබාදීම.

05. දැනට පැය 36ක්ව පවතින රාජකාරී කාලය සතියකට දින පහක (පැය 30ක) කාලයක් ලෙස සැලකීම විශේෂ කමිටුවක අධ්‍යයනයට යොමුකිරීම.

යන කරුණු 5 වහාම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා විසින් තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. රුපියල් දස දහසේ දීමනාව සහ 2014.12.24 දින මුදල් අමාත්‍යාංශය චක්‍රලේඛයක් මඟින් සඳහන් කර ඇති මූලික වැටුපෙන් 1/100 අමතර සේවා දීමනාව ලබන අයවැයෙන් ලබාදීමටත් ජනාධිපතිවරයා විසින් එකඟතාව පළකර ඇති බව සඳහන් වේ. ඒ අනුව, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඉදිරිපත් කළ යෝජනා සියල්ලටම ජනාධිපතිවරයාගෙන් විසඳුම් ලැබුණු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

රජය සෞඛ්‍ය අංශය කෙරෙහි දැඩි විශ්වාසයෙන් පසුවන අතර හෙද සේවාවට ඉහළ පිළිගැනීමක් ලබාදෙන බවත් හෙද වෘත්තිකයන්ට නිසි තැන ලබාදෙන බව ද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now