"ජනතාවගේ හැඟීම් නොදනින දේශපාලකයෙකු ජනතා නායකයෙකු විය නොහැක" - මහින්ද
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තම නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ, ජනතාවගේ හැඟීම් සමඟ බැඳී නොමැති දේශපාලකයෙකුට කිසිදා ජනතා නායකයෙකු විය නොහැකි බවයි.
තංගල්ල කාල්ටන් නිවසේ සිට මෙම සටහන තබමින් ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ, තම ජීවිතයේ වැඩිම කාලයක් ජනතාව අතර ගත වූ බවත්, එය අදටත් එසේම බවත්ය. "ධුර කාලයක් අවසන් වුවත්, ජනතා ආදරය ධුර කාලය ඉක්මවයි. එය කිසිදා අවසන් නොවේ. බලය තිබූ දා මෙන්ම බලය නොමැති දාත් ජනතාව මා සමඟ සිටියහ," යනුවෙන් ඔහු පවසයි.
ඔහු තවදුරටත් ප්‍රකාශ කරන්නේ, ගමේ ජනතාවගේ හිතවත්කම සහ බැඳීම් තමාට හුරු බවත්, කුඩා දරුවන්ගේ කතාබහ තමා සතුටට පත් කරන බවත්ය. "දරුවන් හිටපු ජනාධිපතිවරයෙකු සමඟ නොව, සාමාන්‍ය මිනිසෙකු සමඟ කතාබහ කරන නිසා එම සංවාද රසවත්. ඒ නිසා මම එය භුක්ති විඳිනවා," යනුවෙන් ඔහු සඳහන් කරයි.
කාල්ටන් නිවසට පැමිණි දින සිට මේ දක්වා ආශිර්වාද කිරීමට පැමිණෙන මහා සංඝරත්නයට තම කෘතඥතාව පළ කරන බවත්, සුව-දුක් විමසීමට පැමිණෙන ජනතාවට, දේශපාලන සගයින්ට සහ විවිධ වෘත්තිකයින්ට තම ස්තුතිය පිරිනමන බවත් රාජපක්ෂ මහතා පවසයි.