ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමේදී අය කරනු ලබන ගාස්තු ඉහළට - ඡායාරූප ගාස්තු වලට සිදුවන දේ - වැඩි වන ගාස්තු මෙන්න..

By Sewvandhi Oct 26, 2023 02:34 AM GMT
Sewvandhi

Sewvandhi

Report

රජය මගින් ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමේදී අය කරනු ලබන ගාස්තුව සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ. ඊට අදාළ ගැසට් නිවේදනය මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව, ජාතික හැඳුනුම්පතක සහතික පිටපතක් සඳහා වන ගාස්තුව රුපියල් 2,000ක් විය යුතු බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන්ය.

ඊට අමතරව ජාතික හැඳුනුම්පත් පිළිබඳ විස්තරවල සත්‍යතාව සහතික කිරීම සඳහා වන ගාස්තුව මාර්ගගත ක්‍රමවේදය හරහා ඉදිරිපත් කරනු ලබන අවස්ථාවක, රුපියල් 25ක් ලෙසත් භෞතික ලේඛන මඟින් හෝ කොමසාරිස් ජනරාල්වරයා හට පිළිගත හැකි ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදයක් හරහා ඉදිරිපත් කරනු ලබන අවස්ථාවක රුපියල් 500ක් ලෙසත් අය කිරීමට නියමිතය.

මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ, ජාතික හැඳුනුම්පත් ඡායාරූප ශිල්පියෙකු වශයෙන් ලියාපදිංචි කිරීම සඳහා වන ගාස්තුව රුපියල් 15,000ක් විය යුතු බවයි.

මීට පෙර එම ගාස්තුව පැවතියේ රුපියල් 10,000ක් ලෙසය. එම ලියාපදිංචි සහතිකය නැවත අලුත්කිරීම සඳහා වාර්ෂික ගාස්තුව ලෙස පැවති රුපියල් 2,000ක මුදල රුපියල් 3,000ක් ලෙස ඉහළ දැමීමට ද පියවර ගෙන තිබේ.

ReeCha