ඔබෙත් ඇස් යට කළු ද? එහෙනම් ඇස් යට කළු වීමට හේතු සහ ප්‍රතිකාර ක්‍රම 6ක්

Report

ඇස්යට කළුවීම බරපතල සෞඛ්‍ය ගැටලුවක් නොවුවද වර්තමාන තරුණියන් අතර එය විශාල මානසික ආතතියක් ඇති කිරීමට ප්‍රධාන හේතුවක් වී තිබේ.

ඇස් යට කළු වීම මඟින් පුද්ගලයෙකුට නියමිත වයසට වඩා වැඩි වයසක්, අධික වෙහෙසක් සහ අඳුරු පෙනුමක් ලබා දෙයි.

පැරණි සමාජයේ සමහරුන් මෙය සෙනසුරු කළුව ලෙස ද හඳුන්වනු ලබන අතර ඉන් අදහස් කරන්නේ සෙනසුරු ග්‍රහයාගෙන් එල්ල වන අපල උපද්‍රව සහ පීඩාවන් නිසා මෙය ඇතිවන බවට පවතින විශ්වාසයයි.

කෙසේ වුවත් වෛදික ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව ඇස් යට කළු වීමට බලපාන ප්‍රධානම හේතුව වන්නේ අධික මානසික ආතතියයි.

මීට අමතරව වර්තමානයේ බොහෝමයක් තරුණ තරුණියන්ගේ ඇස් යට කළු වීමට තවත් ප්‍රධානම හේතුවක් බවට පත්වී ඇත්තේ පරිගණකයේ සහ ජංගම දුරකථනවල ආලෝකයෙන් ආරක්ෂා වීම උදෙසා අවිධිමත් ලෙස භාවිතා කරනු ලබන ඇස්කණ්නාඩියයි.

ශාරීරිකව, මානසිකව හෝ පාරිසරිකව ඇතිවන අධික ආතතිය, දිගු වේලාවක් අඛණ්ඩව වැඩකිරීම, රාත්‍රී කාලයේ නිදි මැරීම, වැඩි කාලයක් හඬමින් පසුවීම, පරිගණක තිර නිරන්තරයෙන් භාවිතය සහ රාත්‍රී කාලයේ අඳුරේ ජංගම දුරකථන භාවිතය යන කරුණු මෙයට සෘජුවම බලපායි. ඉහත සඳහන් කළ සියලුම අහිතකර පුරුදු මඟින් ඇස්වල පවතින ස්වභාවික සමතුලිතතාවයට දැඩි ලෙස බාධා ඇති කරනු ලබන අතර ඒ හරහා ඇස් යට සම ඉතා සිහින් වී ඊට යටින් ඇති සියුම් රුධිර වාහිනී කැපී පෙනෙන අඳුරු පැහැයක් ලෙස බාහිරට දිස්වෙයි.

අපගේ එදිනෙදා අත්‍යවශ්‍ය කටයුතු හරහා ඇස් යට කළු වීම් ඇති වන්නේ නම් එය සම්පූර්ණයෙන්ම පාලනය කිරීම ප්‍රායෝගිකව ඉතා අසීරු කටයුත්තකි. එහෙත් දිනපතා නිසි වැඩපිළිවෙළක් සහ සත්කාර පද්ධතියක් අනුගමනය කිරීම තුළින් එය සාර්ථකව පාලනය කර ගැනීමේ හැකියාව උදාවේ.

ඇස් යට කළු වීමට ප්‍රතිකාර කිරීමේදී ඉතා කල්පනාකාරීව ප්‍රතිකර්ම යෙදිය යුතු වේ. ඊට හේතුව ඇස් යට පවතින සම උපතින්ම ඉතා සිහින් සහ සංවේදී වන බැවින් විවිධ කෘත්‍රිම රසායනික නිෂ්පාදන සහ ආලේපන භාවිතා කිරීමෙන් වෙනත් දරුණු සෞඛ්‍යමය හෝ සමේ ගැටලු ඇතිවීමේ හැකියාවක් පැවතීමයි.

එම නිසා මේ සඳහා උපරිම වශයෙන් ස්වභාවික සහ ආයුර්වේද ක්‍රමවේද පමණක් භාවිත කිරීමට වගබලා ගත යුතුය.

පළමුවැනි ක්‍රමය 

පිරිසිදු කපු පුළුන් ස්වභාවික රෝස වතුරේ හොඳින් පොඟවා සතියකට 2 වතාවක් ඇස් මත තුනී පටලයක් සේ තබා ගැනීම සිදු කළ හැකිය. මේ සඳහා උපරිම ප්‍රතිඵල ලබා ගැනීම වෙනුවෙන් කෘත්‍රිම ද්‍රව්‍ය නොමැති පිරිසිදු හා ස්වභාවික රෝස ජලය පමණක් භාවිතා කළ යුතුය.

දෙවැනි ක්‍රමය

සීතල තේ බෑග් භාවිතයයි. ඇස් වටා ප්‍රසාරණය වූ රුධිර නාල නියමිත ලෙස හැකිළෙන විට ඇස් යට සම ස්වභාවිකවම පැහැපත් වේ. රාත්‍රී කාලයේදී ජලයේ ඔබා ශීතකරණයේ තැබූ තේ බෑග් ඇස්වල අඳුරු කොටසේ විනාඩි 15 ක කාලයක් තබා පසුව පිරිසිදු ජලයෙන් සෝදා හැරීම මඟින් රුධිර වාහිනී සංකෝචනය වී සමේ අඳුරු බව සීඝ්‍රයෙන් අඩු වෙයි.

තෙවැනි ක්‍රමය

සම පැහැපත් කරන කුංකුම සත්කාරය දැක්විය හැකිය. කුංකුම යනු වයසට යාම නිසා සමේ ඇතිවන සියුම් හැකිලීම් සහ අඳුරු බව ඉවත් කරන ප්‍රබල ස්වභාවික ඔසුවකි. මේ සඳහා අමු කිරි මේස හැන්දක් ගෙන එයට කුංකුම ස්වල්පයක් එක් කර එය හොඳින් පොඟවා ගත් පසු ඇඟිලි තුඩු වලින් ඇස් යට කළු වූ ප්‍රදේශයේ සියුම්ව ආලේප කර පසු දින උදෑසන සෝදා හැරිය යුතුය.

සිව්වැනි ක්‍රමය

වන්නේ කුම්කුමාදි තෛලයයි. සම ආශ්‍රිතව ඇතිවන බොහෝ ගැටලු සහ ලප කැළැල් සහමුලින්ම තුරන් කිරීමට ආයුර්වේදයේ බහුලව භාවිතා කරන මෙම සුවිශේෂී තෛලය මඟින් සමේ ස්වභාවික දීප්තිය ඇති කිරීම, සමේ අඳුරු බව සහ වයසට යාම හරහා ඇතිවන රැලි සහ වෙනත් කැළැල් අඩු කිරීම සිදු කරයි. ඒ සඳහා රාත්‍රී නින්දට පෙර තෙල් බිංදු 2 ක් අත්ලට ගෙන මුහුණේ අඳුරු පැහැති ස්ථාන මත වෙදඟිල්ල ආධාරයෙන් සෑම රාත්‍රියකම සැහැල්ලුවෙන් ආලේප කළ යුතුය.

පස්වැනි ක්‍රමය

වියලි කෝපි සහ මී පැණි සත්කාරයයි. ඇස් ඉදිමීම හෝ ඇස්යට අඳුරු වීම වැනි ගැටලුවලට වියලි කෝපි කුඩු මේස හැන්දක් පිරිසිදු මී පැණි මේස හැන්දක් සමඟ හොඳින් මිශ්‍ර කර ආලේප කළ හැකිය. මී පැණි යනු ස්වභාවික මොයිස්චරයිසර් එකක් වන අතර එය අඳුරු බව අඩු කිරීම සඳහා සමේ පවතින දුර්වර්ණක අවශෝෂණය කර ගැනීමට මැනවින් උපකාරී වේ. මෙම ආලේපනය කර විනාඩි 30 කට පසු පිරිසිදු ජලයෙන් සෝදා දැමිය යුතුය.

හයවැනි ක්‍රමය

ලෙස ආමන්ඩ් ඔයිල් සත්කාරය දැක්විය හැකිය. රාත්‍රී නින්දට පෙර ආමන්ඩ් ඔයිල් ස්වල්පයකට විටමින් ඊ කරලක ද්‍රවය මිශ්‍ර කර ඇස වටා ආලේප කළ යුතුය. ඉන්පසු ඇඟිලි තද නොකර ඉතා සියුම්ව ඇස වටා සම්බාහනය කර උදෑසන නැවුම් සීතල වතුරෙන් එය සෝදා හැරිය යුතුය. මෙයට අමතරව දිනපතා අල පෙති, කෝමාරිකා පෙති හෝ පිපිඤ්ඤා පෙති ඇස් මත තබාගෙන සිටීම තුළින් ඇසට ඉහළ සිසිලසක් ලැබෙන අතර ඇස වටා ඇති සම මැනවින් පෝෂණය වීම ද සිදුවෙයි.