ජාතික ආපදා තත්ත්වය හමුවේ සහාය දැක්වූ විදේශීය යුද නෞකා වෙත ප්‍රණාමය පිරිනැමේ
ගෝලීය සහ කලාපීය සහයෝගීතාව ද, සුරක්‍ෂිත සාගර කලාපයක් වෙනුවෙන් වන සාමූහික වගකීම ද පෙන්නුම් කරමින්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75 වැනි සංවත්සරයට සමගාමීව පැවති ජාත්‍යන්තර යුද නෞකා නිරීක්‍ෂණය වෙනුවෙන් පැමිණි විදේශීය යුද නෞකා විසින්, දිවයිනේ ජාතික ආපදා අවස්ථාවේ දී මානුෂීය ආධාර සහ ආපදා සහන මෙහෙයුම් සඳහා දක්වන ලද සහය වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ප්‍රණාමය පුද කර තිබේ.
එය පසුගියදා ගාලු මුවදොරට ඔබ්බෙන් වූ බටහිර මුහුදේ දී පැවති, 2025 ජාත්‍යන්තර යුද නෞකා නිරීක්‍ෂණයේ දී සිදුකරන ලදි. එම අවස්ථාවට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් සහභාගී වූ, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය, යුද නෞකා වෙතින් පිරිනමන ලද සාම්ප්‍රදායික යුද නෞකා ආචාරය පිළිගැනීම, ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාවේ දී සිදුකර ඇත.
“Sailing Strong-Together”, ඒකාබද්ධ වීම තුළින් සුරක්‍ෂිත තිරසාර සාගර කලාපයක් යන තේමාව යටතේ සංවිධාන කෙරුණු මෙම සාම්ප්‍රදායික යුද නෞකා නිරීක්‍ෂණයට සහභාගීවීම සඳහා; බංගලාදේශ නාවික හමුදාවේ ‘PROTTOY’ යුද නෞකාව, ඉන්දීය නාවික හමුදාවේ INS VIKRANT ගුවන් යානා ප්‍රවාහන නෞකාව හා INS UDAYAGIRI යුද නෞකාව, ඉරානය නියෝජනය කරමින් ‘IRIS NAGHDI’ යුද නෞකාව, මාලදිවයින් වෙරළාරක්‍ෂක බලකායේ ‘CGS HURAVEE’ වෙරළාරක්‍ෂක නෞකාව, මැලේසියානු නාවික හමුදාවේ ‘KD TERENGGANU’ යුද නෞකාව, පාකිස්ථානු නාවික හමුදාවේ ‘PNS SAIF’ යුද නෞකාව සහ රුසියානු නාවික හමුදාවේ ‘GREMYASCHCHY’ යන යුද නෞකා අට (08) 2025 නොවැම්බර් 27 දින වන විට දිවයිනට ලඟාවිය.
මෙරටට බලපෑ අයහපත් කාලගුණය හමුවේ ඇතිවූ ජාතික ආපදා තත්ත්වය මත, දිවයින පුරා ක්‍රියාත්මක කෙරුණු ආපදා සහන මෙහෙයුමට ශක්තියක්වෙමින්, දිවයිනට පැමිණි මෙම යුද නෞකා වෙතින් මානුෂීය ආධාර ලබා දීම සිදු කෙරිණි.
ඒ අනුව විශේෂයෙන්, ඉන්දීය නාවික හමුදාවේ INS VIKRANT ගුවන් යානා ප්‍රවාහන නෞකාව වෙතින් සහ පාකිස්ථානු නාවික හමුදාවේ ‘PNS SAIF’ යුද නෞකාව වෙතින් හෙලිකොප්ටර් යානා යොදවමින්, ආපදාවට පත් පුද්ගලයන් සෙවීමේ හා මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා දායක විය.
ඒ අනුව, ඒ ඒ රාජ්‍යන් නියෝජනය කරමින් පැමිණි යුද නෞකා ප්‍රෞඩ නාවික හමුදා සම්ප්‍රදායන් පිළිබිඹු කරමින්, ශ්‍රී ලංකාවටත්, ශ්‍රී ලංකා නාවික හමුදාවටත් ගෞරව දක්වමින්, යුද නෞකා නිරීක්‍ෂණයක් සඳහා සහභාගී වූවා පමණක් නොවේ .
''අභියෝග ජයගෙන යළි ශක්තිමත්ව නැඟීසිටීමට අදිටන් කරගත යුතුයි'' අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහ නාහිමි
එය යුද නෞකා නිරීක්‍ෂණය; සාගර කලාපයේ සාම්ප්‍රදායික නොවන සමුද්‍රීය අභියෝග මෙන්ම, කාලගුණික විපර්යාස හේතුවෙන් ඇති වන ස්වභාවික ආපදා අවස්ථාවන්හි දී, සාමූහික ප්‍රවේශයකින් කටයුතු කිරීම සඳහා අවශ්‍ය සහයෝගීතාවය සහ හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත්ව වර්ධනය කෙරුණු සුවිශේෂී අවස්ථාවකි
තව ද, මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ; බංගලාදේශ, ඉන්දීය, ඉරාන, මාලදිවයින්, මැලේසියා, පාකිස්ථානු සහ රුසියානු මහකොමසාරිස් කාර්යාල සහ තානාපති කාර්යාල නියෝජනය කරමින් රජ්‍යතාන්ත්‍රික නිලධාරීන් පිරිසක් එක් විය.
මෙම අවස්තාවේදී ශ්‍රී ලංකාවේ ඇති වූ ජාතික ආපදා තත්ත්වය හමුවේ ක්‍රියාත්මක කෙරුණු මානුෂීය ආධාර හා ආපදා සහන මෙහෙයුම් සඳහා දැක්වූ සහයෝගය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරිය විසින් රාජ්‍යතාන්ත්‍රික නිලධාරින් වෙත ප්‍රණාමය පළ කර තිබේ.