''අභියෝග ජයගෙන යළි ශක්තිමත්ව නැඟීසිටීමට අදිටන් කරගත යුතුයි'' අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහ නාහිමි
මෙරටට බලපෑ ස්වාභාවික ආපදා තත්ත්වය හේතුවෙන් අපේක්ෂා නොකළ ආකාරයේ මහා විනාශයක් පසුගිය වසරේදී රටේ සිදුවූ බවත් අභියෝග ජයගෙන නව වසරේදී යළි ශක්තිමත්ව නැඟීසිටීම සඳහා ජාති, ආගම් පක්ෂ භේදයෙන් තොරව සියලු දෙනා එකතු විය යුතුව තිබෙන බවත් අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහ නාහිමියෝ පවසති.
තවද උන්වහන්සේ සදහන් කරන්නේ මිනිසා විසින් පරිසරයට කරනු ලබන අයහපත් බලපෑමේ ප්‍රතිඵල ලෙස ස්වාභාවික ව්‍යසනයේ බලපෑම දෙගුණ තෙගුණ වී අත්විඳින්නට අපට සිදුවූ බවයි .
ඒ වගේම එය පාඩමක් කර ගනිමින් දැන් හෝ පරිසරය රැක ගැනීම සඳහා වැඩි අවධානයක් යොමු කළ යුතුව තිබෙන බවත් උන්වහන්සේ කීහ.
නව වසර වෙනුවෙන් සුභාසිංසන එක් කරමින් උන්වහන්සේ මෙවන් අදහසක් දක්වා තිබේ.
පසුගිය වසර අවසානයේ දී අපේක්ෂා නොකළ ආකාරයේ දුක්ඛ දායක සිදුවීම්වලට මුහුණ දීමට රටවැසියන්ට සිදුවුණා. ජීවිත මෙන්ම දේපොළ අහිමි වීමෙන් විශාල පිරිසක් පීඩාවට පත් වුණා. දුකට පත්වූ පිරිස වෙනුවෙන් සහනාධාර ලබා දෙමින් අපේ ජනතාව තමන් තුළ පවත්නා ආදරය, කරුණාව, දයාව වැනි උතුම් ගුණාංග පෙන්නුම් කළා. නව වසරේ දී රටක් ලෙස අප නැඟීසිටීමට නම් භේද සියල්ල පැත්තකින් තබා එක්විය යුතුයි.