නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් පිරිසක් තවත් නඩුවකින් නිදොස් කොට නිදහස්.
ගවර්ස් කෝපරේෂන් මුදල් විශුද්ධිකරණ නඩුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු සියලු විත්තිකරුවන්, සාක්ෂි කැඳවීමකින් තොරව නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (02) නියෝග කර තිබෙනවා.
ඒ, පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලබාදුන් සාක්ෂි අධිකරණයට පිළිගත නොහැකි, විශ්වාසයෙන් තොර සාක්ෂි බව පවසමින්.
එමෙන්ම අධිකරණය සලකා බලන්නේ විත්තිකරුවන්ගේ තරාතිරම නොව ඔවුන්ට එරෙහිව ගොනුකර ඇති චෝදනා සනාථ කළ හැකි සාක්ෂි පමණක් බව පෙන්වා දෙමින්, කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මෙම නියෝගය ලබාදී ඇත.
මේ අතර අධිකරණය මඟහැර ගොස් සිටින එම නඩුවේ දෙවැනි විත්තිකරු වන ප්‍රභාත් කරුණාජීව සහ එම නඩුවේ සිව්වන විත්තිකාරියට පනවා ඇති විදෙස් ගමන් තහනම වහාම ඉවත් කර , .ප්‍රභාත් කරුණාජීව අත්අඩංගුවට ගැනීමට නිකුත් කර ඇති විවෘත වරෙන්තු ආපසු කැඳවීමට විනිසුරුවරයා නියෝග කර තිබෙනවා.
නාමල් රාජපක්ෂට චෝදනාව එල්ල වී ඇත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදී අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් සමාගමේ යෙදවීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවටයි.
