නාමල් කරුණාරත්න සහ සමන්ත විද්‍යාරත්න අත්අඩංගුවට ගැනීමට යයි

Sri lanka samantha vidya rathne namal karunarathne
By Sithumi Jul 03, 2021 03:31 PM GMT
Sithumi

Sithumi

Report

සෞඛ්‍ය නීති රීති උල්ලංඝනය කරමින් උද්ඝෝෂණයක් සිදුකර ඇති බවට චෝදනා එල්ල වී ඇති ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර තිබේ.

බණ්ඩාරවෙල, බොරලන්ද ප්‍රදේශයේදී සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පොහොර ගැටලුව සම්බන්ධයෙන් උද්ඝෝෂණයක් සංවිධානය කර තිබූ අතර එය සෞඛ්‍ය නිරෝධායන නීතිරීති උල්ලංඝනය කරමින් පවත්වා ඇති බවට චෝදනා එල්ල වී ඇත. ඒ අනුව මෙම උද්ඝෝෂණය සංවිධානය කළ පුද්ගලයින් 5 දෙනෙකු පසුගියදා අත්අඩංගුවට ගත් අතර ඔවුන් අද (03) වැලිමඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණි.

එහිදී ඔවුන් රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළේය. කෙසේවෙතත් පොලීසිය මෙහිදී අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ උද්ඝෝෂණය සංවිධානය කිරීමට අදාළව සමන්ත විද්‍යාරත්න, නාමල් කරුණාරත්න ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව පවතින බවය. ඊට අදාළව නොතීසි නිකුත් කරන ලෙස ද පොලීසිය අධිකරණයෙන් ඉල්ලා තිබේ.

කෙසේවෙතත් මෙහිදී අධිකරණය දන්වා ඇත්තේ සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් කටයුතු කර ඇත්නම් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසය. ඒ අනුව අද දෙරණ කළ විමසීමකට පිළිතුරු දෙමින් බෝගහකුඹුර පොලිස් ස්ථානයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ ඔවුන් 5 දෙනා අත්අඩංගුවට ගැනීමට මේ වනවිට පරීක්ෂණය ආරම්භ කර ඇති බවය.