ජනතාවට අවම පීඩනයක් ඇති වන ලෙස කටයුතු කරනවා ඇමැති නලින්දත් මිල ඉහළයාම් ගැන කට අරියි
මේ වනවිට පවතින මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් අනාගතයේ මෙරට ඇතිවිය හැකි තත්ත්වයට මුහුණදීමට සූදානම් නමුත් ජනතාවට දී ඇති සහන හෝ රජයේ සේවකයන්ගේ වැටුප් අඩු කිරීමක් කිසිසේත් සිදු නොකරන බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සදහන් කර තිබේ .
ඇමැතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (10) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප සියයට 25 කින් හා ජනතාවගේ ඇතැම් සහන අවම කිරීම් සිදු වන බැවින් ශ්‍රී ලංකාව ඊට මුහුණ දීමට ගන්නා පියවර කුමක්දැයි මෙහිදී මාධ්‍යවේදියා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් එතුමා සදහන් කළේ මෙවන් අදහසක්
රජයේ සේවකයන්ගේ වැටුප, මූලික වැටුප හෝ දීමනා අඩු කිරීමට රජය කිසිසේත් සූදානමක් නැති බවත්, ඒ වගේම ජනතාවට ලබා දෙන අස්වැසුම, වගා සහනාධාර, ධීවර සහන, සුළි කුණාටුවෙන් හානි වූ අයට දෙන සහන, සෞඛ්‍ය, අධ්‍යාපන ඇතුළු මේ කිසිදු සහනයක් අඩු කරන්නේ නැතැයි ද ඇමැතිවරයා මෙහිදී අවධාරණය කර තිබේ.
මේ පිළිබද අමාත්‍යවරයා තව දුරටත් සදහන් කළේ මෙවන් අදහසක්
“ජනතාවට ලබාදෙන අස්වැසුම ඇතුළු සහනාධාර අඩු කරන්නේ නැහැ. දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවලට ලක්වූ ජනතාවට ලබාදෙන රුපියල් 25000, 50000, ලක්ෂ 50 දක්වා දෙන ආධාර අඩු කරන්නේ නැහැ. වගාවන්ට, වැවිලි කර්මාන්තයට, ධීවර කර්මාන්තයට ලබාදෙන සහන අඩු කරන්නේ නැහැ. අධ්‍යාපනයට, සෞඛ්‍ය අංශයට ලබාදෙන සහන අඩු කරන්නෙත් නැහැ. ඒ සියලු සහන නියමිත පරිදිම ජනතාවට ලබා දෙන අතර අපි මේ තත්ත්වයට මුහුණ දෙන්නට කටයුතු කරනවා.
අපි ආර්ථිකයේ කිසිම කොටසක් වසා දමන්නේ නැහැ. අපි මේ ගමන යන්නේ අනාගතයේ ඇතිවිය හැකි නරකම ප්‍රතිඵලවලට සූදානමක් වෙමින් ආර්ථිකය සම්පූර්ණයෙන්ම විවෘතව තබා ගනිමිනුයි. එක් ක්ෂේත්‍රයක්වත් අකර්මණ්‍ය නොකර රටේ ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගෙන යෑම සඳහා යහපත් ක්‍රමවේදයක් රජය අනුගමනය කරනවා. ජනතාව මත පැටවෙන අධික බරක් යම් ප්‍රමාණයකට අඩු කර ගැනීමටයි අපි තෙල් මිල වැඩිකිරීමක් සිදු කළේ. හෙට දවසේ ඇති වන තත්ත්වයන්ටත් ජනතාව මත අවම පීඩනයක් ඇති වන ආකාරයෙන් කටයුතු කිරීමට රජය බලාපොරොත්තු වෙනවා.”