මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ අනන්‍යතාව ගැන සමාජ මාධ්‍යයේ උණුසුම් කතාබහක් - අශෝක හඳගමත් වෙනස් කතාවක් කියයි
මේ දිනවල "මෛත්‍රී රාමක්‍රිෂ්ණන්" කියන්නේ සමාජ මාධ්‍යයේ බොහෝ සිටින රංගන ශිල්පිනියක්. Netflix හි විකාශය කෙරෙන Best of the Best චිත්‍රපටයේ රංගනයෙන් දායක වන ඇය ශ්‍රී ලාංකික සම්භවයක් සහිත තැනැත්තියක් වෙනවා
මෙලෙස ඇයව සමාජ මාධ්‍යයේ විවේචනයට ලක් වුණේ තමන් ශ්‍රී ලාංකිකයෙකු ලෙස හැඳින්වීම ප්‍රතික්ෂේප කළ මෛත්‍රී රාමක්‍රිෂ්ණන් තමන් කැනේඩියානු ජාතිකයකු බවත් දෙමළ ඊළාම් සංස්කෘතික පසුබිමක් සහිත තැනැත්තියක බවත් කියා සිටීමයි
සමාජයේ විවිධ කතා මේ ගැන මැවෙනවා එසේ තිබියදී අවස්ථාවක් ලැබුණාහොත් ඉතා කැමැත්තෙන් ඇය සිය චිත්‍රපටයක් සඳහා සහභාගී කරවාගන්නා බව පවසමින් චිත්‍රපට අධ්‍යක්ෂ අශෝක හඳගම මහතා facebook සටහනක් තබා තිබුණා
ඔහු සදහන් කළේ මෙවන් අදහසක්
ඊයේ මම Netflix හි ‘Best of the Best’ චිත්‍රපටය නැරඹුවා. එය යොවුන් ප්‍රේක්ෂකයන්ට ගැළපෙන, ඉතා සුන්දර චිත්‍රපටයක් ලෙස මට දැනුණා. එහි රංගනයේ යෙදෙන සියලුම තරුණ නළු නිළියන් ඉතා දක්ෂයි. ඔවුන්ගේ රංගනය ස්වභාවිකයි, ආකර්ෂණීයයි. ඔවුන් තිරය මත දැකීම සැබෑ සතුටක්. චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙකක් වන අංජලී සහ මායා අතරින්, මායාගේ චරිතය නිරූපණය කරන්නේ ඉතා ආකර්ෂණීය හා ප්‍රියමනාප තරුණ නිළියක වන මෛත්‍රෙයි රාමක්‍රිෂ්ණන් විසිනුයි. කෙසේ වෙතත්, සම්මුඛ සාකච්ඡාවකදී ඇය තම ජාතික අනන්‍යතාව “ද්‍රවිඩ ඊළාම්” ලෙස සඳහන් කර තිබීම සම්බන්ධයෙන් අපේ ෆේස්බුක් පරිශීලකයන් කිහිපදෙනෙකු තුළ යම් නොසන්සුන්තාවක් ඇති වී තිබෙන බව පෙනෙන්නට තිබෙනවා. යුද්ධය හේතුවෙන් ඇගේ දෙමාපියන් කැනඩාවට සංක්‍රමණය වූ අතර, ඒ අනුව ඇය විදෙස්ගත ශ්‍රී ලාංකික දෙමළ ප්‍රජාවට සම්බන්ධ පවුල් පසුබිමක හැදී වැඩී තිබෙනවා. මෛත්‍රෙයි උපත ලබා ඇත්තේ කැනඩාවේ වන අතර, ඇය කැනේඩියානු පුරවැසියෙකි. ඇය ශ්‍රී ලාංකික දෙමළ සම්භවයක් ඇති කැනේඩියානු නිළියක ලෙසද සාමාන්‍යයෙන් හඳුන්වා දෙනු ලබනවා. මෙහිදී අපට තවත් පුළුල් ප්‍රශ්නයක් ගැන සිතන්නට සිදුවෙනවා. යුද්ධ, දේශපාලන අර්බුද හෝ වෙනත් හේතු මත ලොව පුරා විවිධ රටවලට සංක්‍රමණය වූ පුද්ගලයන්ගේ දරුවන් බොහෝ දෙනෙකුට තම අනන්‍යතාව සම්බන්ධයෙන් යම් අවස්ථාවකදී මෙම ප්‍රශ්නය මතුවිය හැකියි. “මම අයත් වන්නේ කොතැනටද? මා හැදී වැඩුණු රටටද, නැතහොත් මගේ දෙමාපියන් පැමිණි රටටද?” සමහරු තම නිල ජාතිකත්වය සමඟ තම අනන්‍යතාව සරලව සම්බන්ධ කරගන්නවා.
තවත් සමහරුන්ට තම පවුලේ උරුමය, සංස්කෘතිය, භාෂාව, ඉතිහාසය සහ දෙමාපියන්ගේ අත්දැකීම් ද තම අනන්‍යතාවයේ වැදගත් කොටසක් බවට පත්වෙනවා. විශේෂයෙන්ම ප්‍රසිද්ධ චරිතයකට මෙම අනන්‍යතාව පිළිබඳ ගැටලුව තවත් සංකීර්ණ විය හැකියි. මෛත්‍රෙයි දෙමළ භාෂාව කතා නොකළත්, ඇය තමන්ව දෙමළ ජාතිකයෙකු ලෙස හඳුනාගන්නා බව ප්‍රකාශ කර තිබෙනවා.
ඇගේ පවුලේ උරුමය, දෙමාපියන්ගේ අත්දැකීම් සහ ඔවුන්ගෙන් ඇයට අසන්නට ලැබුණු ශ්‍රී ලංකාව පිළිබඳ කතා ඇගේ අනන්‍යතාව ගොඩනැගීමට බලපා තිබිය හැකියි. අනන්‍යතාව යනු සෑම විටම විදේශ ගමන් බලපත්‍රයක සඳහන් ජාතිකත්වයට පමණක් සීමා වන දෙයක් නොවෙයි. පුද්ගලයෙකු තමන්ව හඳුනාගන්නා ආකාරය ඔහුගේ හෝ ඇයගේ පවුල් ඉතිහාසය, සංස්කෘතිය, අත්දැකීම් සහ පෞද්ගලික හැඟීම් සමඟද බැඳී තිබිය හැකියි.
ඒ නිසා, ඇය තමන්ගේ අනන්‍යතාවය එලෙස නිර්වචනය කිරීම පිළිබඳව අප කලබල විය යුත්තේ ඇයි? අපට ඇයගේ අදහස සමඟ එකඟ වීමට හෝ නොවීමට හැකියි. නමුත් තමන්ව හඳුනාගන්නේ කෙසේද යන්න පිළිබඳව තීරණය කිරීම ඇය සතු පෞද්ගලික අයිතියක්. මට කවදා හෝ අවස්ථාවක් ලැබුණහොත්, මම ඇයව මගේ චිත්‍රපටයක රඟපෑමට තෝරාගන්නවා. මන්ද ඇය ඉතා දක්ෂ නිළියක් බව මට නම් පැහැදිලියි.
ඇය රගපෑ Best of the Best චිත්‍රපටයේ IMDB ශ්‍රේණිගත කිරීම් ද කැපී පෙනෙන ලෙස අඩු වී ඇති බවත් වාර්තා වෙනවා.
එසේ තිබියදී ඇයට සහය දක්වන පිරිස් පවසන්නේ තම අනන්‍යතාව තීරණය කිරීමට ඕනෑම අයෙකුට නිදහසක් තිබිය යුතු බවයි.
පාර්ලිමේන්තුවේදී ඊයේ කතා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා රාමනාදන් මහතාද ඇයට පක්ෂව අදහස් දක්වා තිබුණා . කොහොම වුණත් සමාජ මාධ්‍ය ඇය වෙනුවෙන් මේ දිනවල උණුසුම් වෙලා තියනවා .