අධිකරණයේ දී විත්ති කූඩුවට නොනැග්ග හිටපු ජනපතිට සිදුවු දේ..

Maithripala Sirisena Sri Lanka
By Sewvandhi Jan 27, 2023 08:06 AM GMT
Sewvandhi

Sewvandhi

Report

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අද (27) කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අවවාද කළේය. ඒ විවෘත අධිකරණයේදී නඩුවක් කැඳවූ අවස්ථාවේදී එහි විත්තිකරුවෙක් ලෙස සඳහන් මෛත්‍රීපාල සිරිසේන මහතා විත්ති කූඩුවට නොනැගීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

පාස්කු ඉරු දින මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදී එකී ප්‍රහාර ආරක්ෂක අමාත්‍යවරයා ලෙස හා රටේ විධායක ජනාධිපතිවරයා ලෙස වළක්වා ගැනීමට අපොහොසත්වීම අභියෝගයට ලක්කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර ඇති පෞද්ගලික නඩුව අද කැඳවීය.

පසුව එය ලබන මාර්තු 17 වනදා නැවත කැඳවීමට මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කළේය. කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් පාදයක් අහිමි වු පුද්ගලයෙකු සහ ගරු සිරිල් ගාමිණී පියතුමා විසින් මෙම නඩුව ගොනුකර තිබුණි.

එම නඩුව අද දින විවෘත අධිකරණය හමුවේ කැඳවු අවස්ථාවේදි මෛත්‍රීපාල සිරිසේන මහතා විත්ති කූඩුවට නැගීමකින් තොරව ඉන් පිටත රැඳී සිටි අතර එම අවස්ථාවේදී පැමිණිලිකරුවන් වෙනුවන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා සැකකාර මෛත්‍රීපාල සිරිසේන මහතා විත්ති කූඩුවෙන් පිටත රැඳීසිටීම කෙරෙහි අධිකරණයේ අවධානය යොමුකර ඒ සම්බන්ධයෙන් විරෝධතාව පළකර සිටියේය.

සිය සේවාදායකයාට එරෙහිව පවරා ඇති පෞද්ගලික නඩුව සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනිම අභියාචනාධිකරණය විසින් අත්හිටුවා ඇති බැවින් ඔහු විත්ති කූඩුවට නැගීමක් සිදුනොකළ බව සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණයට පෙන්වා දුන්නේය. 

 අභියාචනාධිකරණය විසින් තම අධිකරණයට නියෝග කර ඇත්තේ එම සැකකරුට චෝදනා පත්‍රය කියවා දී නඩුවේ ඉදිරි කටයුතු යළිත් අභියාචනාධිකරණයෙන් නියෝගයක් ලබාදෙන තුරු වැළැක්වීමක් මිස ඔහුට විත්ති කූඩුවට නොනගින ලෙසට නියෝගයක් නොවන බවට පෙන්වා දුන් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එම නඩුවේ සැකකරුගේ නම ප්‍රකාශකර නැවත අඬගසන ලෙස අධිකරණ භාෂණ පරිවර්තකවරියට නියෝග කළේය.

දෙවන වරට නඩුව කැඳවූ පසු මෛත්‍රීපාල සිරිසේන මහතා විත්ති කූඩුවට නැගීමක් සිදුකළ අතර නඩුව නැවත කැඳවන විටදී සැකකරුවෙකු සිටිය යුතු ස්ථානය වන විත්ති කූඩුවට මින් ඉදිරියට නගින ලෙසත් ඔහුට මහෙස්ත්‍රාත්වරයා අවවාද කළේය.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now