මඩකලපුවේ පාළු ළිඳකින් හමුවූ කාන්තාවගේ දියණිය වෙල්යායකින් හමුවේ
මඩකලපුව නෙල්ලික්කාඩු ප්‍රදේශයේදී පාළු ළිඳක වැටී සිටියදී කාන්තාවක් සොයාගත් සිද්ධියේ තවත් කරුණු කිහිපයක් අනාවරණය වී තිබේ.
ප්‍රදේශවාසියෙකුට ළිඳ තුළින් ඇසුණු කෙඳිරිලි හඬක් හේතුවෙන් සිදු කළ සෝදිසියකදී, අදාළ කාන්තාව ඊයේ (20) හමුවී තිබේ. බේරාගත් එම කාන්තාව මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කර, හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇත.
වයස අවුරුදු 26ක් වන මෙම කාන්තාව, පොලීසියගේ සැකය අනුව, කිසියම් පිරිසක් විසින් පසුගිය 19 වැනිදා පැහැරගෙන තිබේ.
පැහැරගැනීමේ අවස්ථාවේදී දිවි බේරාගෙන පලාගොස් සිටි ඇගේ දියණිය, කොතියපුලෙයි වෙල්යායේ සිටියදී සොයාගෙන ඇත. ඇයද වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
මේ අතර, ළිඳ තුළ සොයාගත් අදාළ කාන්තාවෙකුගේ මළ සිරුරද මේ වනවිට මඩකලපුව ශික්ෂණ රෝහලේ තබා ඇති අතර, එහි පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිතය.
කෙසේ වෙතත්, මෙම සිදුවීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර, කොක්කඩිචෝලෙයි පොලිසිය විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ලබයි.