ලලිත් වසන්ත STF වෙඩි පහරින් මරුට

Ajith Rohana STF lalith wasantha Seeduva Basline road
By Sewvandhi Jul 18, 2021 02:25 AM GMT
Sewvandhi

Sewvandhi

Report

සීදූව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ සිදුවූ වෙඩි හුවමාරුවකින් අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු මියගොස් තිබෙනවා. ඊයේ රාත්‍රියේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරීන්ට ලද තොරතුරක් අනුව සැකකටයුතු පුද්ගලයන් ගමන්කරන වාහනයක් පිළිබඳව තොරතුරක් ලැබී තිබෙනවා.

ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අදාළ සුඛෝපභෝගී රථය පසුපස ලුහුබැඳගොස් සීදුව පොලිස් වසමේ බේස්ලයින් පාර ප්‍රදේශයේදී වාහනය පරීක්ෂා කිරීමට උත්සහ කර තිබෙනවා.

එම අවස්ථාවේ පොලිස් විශේෂ කාර්ය බලකාය ගිනි අවි භාවිත කර බලය පාවිච්චි කිරීමක් සිදුකර ඇති අතර එහිදී එම රථයේ සිටි පුද්ගලයෙකු වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ. තුවාලකරු මීගමුව රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ සීදුව ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි ලලිත් වසන්ත නමැති පුද්ගලයෙකු බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ. ඔහු 1991 වසරේ සිට මේ දක්වා සීදූව, වත්තල, මාතර, අකුරැස්ස, කටුනායක, රාගම ආදී පොලිස් වසම්වල සිදුවූ අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.

සැකකරු මනුෂ්‍ය ඝාතන 06කට අදාළ සැකකරුවෙකු බවටද තොරතුරු ආනාවරණ වී ඇති අතර කොල්ලකෑම් රැසක් සම්බන්ධයෙන්ද අවශ්‍යව සිටි සැකකරුවෙකු බවටයි වැඩිදුර තොරතුරු සඳහන් වන්නේ.

සිද්ධිය වූ ස්ථානයේ තිබී මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක්ද හමුවී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ.

අදාළ රථයේ ගමන්කළ තවත් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර සීදූව පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha