කිරි අම්මා දානයකට සභාගි වූ පිරිසකට කොරෝනා

By Wasantha Aug 15, 2021 08:37 AM GMT
Wasantha

Wasantha

Report

හල්දුම්මුල්ල දඩයම්පොළ ප්‍රදේශයේ නිවසක පැවති කිරි අම්මාවරුන්ගේ දානයකට සහභාගී වු පුද්ගලයින් 14 දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හදුනාගෙන තිබෙනවා.

මෙම තත්ත්වය හේතුවෙන් එම ගම්මානයේ පුද්ගලයින් 190 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමු කෙරුණු කොස්ලන්ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ.

මේ අතර හෙට (16) රාත්‍රී 9.00 සිට සතියක කාලයක් මරදගහමුල සියලු කඩසාප්පු වසා දැමීමට මරදගහමුල ව්‍යාපාරික සංගමය තීරණය කර තිබේ. එම සංගමයේ සභාපති බී. කේ. රංජිත් මහතා සඳහන් කළේ කොවිඩ් -19 වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා සිය වෙළෙඳුන් එක්වී මෙම පියවර ගෙන ඇති බවය.

මේ අතර අද (15) සිට අම්බලන්තොට නගරයේ සියලු කඩසාප්පු වසා දැමීමට අම්බලන්තොට වෙළඳ සංගමය ඊයේ තීරණය කර තිබුණි. අම්බලන්තොට අවට ප්‍රදේශවල කොරෝනා පැතිරීමේ දැඩි අවදානමක් ඇති බැවින් එම ප්‍රදේශවල ජනතාව නිරන්තරයෙන් අම්බලන්තොට නගරය වෙත පිවිසීම හේතුවෙන් වෙළෙඳ සංගමය මෙම තීරණය ගෙන තිබුණි.

මේ අතර මාතලේ පලාපත්වල නගරයේ වෙළෙඳසැල්වල සේවකයින් 67 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණයවීමෙන් පසු එම නගරයේ වෙළෙඳසැල් සතියක කාලයක් සඳහා වසා දැමීමට මීට පෙර තීරණය කර තිබුණි. එමෙන්ම කන්තලේ සේරුනුවර නගරයේ අවමංගල්‍ය උත්සවයක් ආශ්‍රිතව ඇතිවූ කොවිඩ් පොකුරක් හේතුවෙන් ද දින 14 ක් සඳහා සේරුනුවර නගරයේ වෙළෙඳසැල් වසාදැමීමට එම වෙළෙඳ සංගමය පසුගියදා පියවර ගත්තේය.

ඌව පරණගම ලූනුවත්ත නගරයේ වෙළෙඳසැල් ද ඉකුත් 13 වනදා සිට දින 3ක කාලයක් සඳහා වසා දැමීමට ලූනුවත්ත එක්සත් වෙළෙඳ සංගමය පියවර ගෙන තිබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... Join Now