මුහුණේ කැළැල් මකන්න ආ තරුණියට අතවර

Report

මහනුවර පේරාදෙණිය මාර්ගයේ පිහිටි පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක පුද්ගලයෙකු මුහුණේ ලප කැළැල් ප්‍රතිකාර සඳහා පැමිණි තරුණියකට අතවර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද (13) පස්වරුවේ තරුණිය එම මධ්‍යස්ථානයට ගොස් ප්‍රතිකාර ලබාගෙන ඇති අතර, වෛද්‍යවරයා විසින් රුපියල් 35,000ක් ගෙවන ලෙස දැනුම්දී තිබේ. ඇය සතුව රුපියල් 20,000ක් පමණක් තිබූ නිසා ඉතිරි මුදල පසුව ගෙවීමට අවස්ථාවක් ඉල්ලා තිබේ.

එම අවස්ථාවේ මධ්‍යස්ථානයේ පරිපාලකයකු යැයි කියන සැකකරු රුපියල් 5,000ක විශේෂ අඩුකිරීමක් සිදුකර ඉතිරි රුපියල් 10,000 පමණ පසුව ගෙවීමට ඉඩ දෙන බව පවසා ඇත. තමාද වෛද්‍ය වෘත්තිකයෙකු බව කියා සැකකරු තරුණියගේ ශරීරය පරීක්ෂා කරන බවත්, තවත් ලප කැළැල් ඇති බැවින් ඒවා ඉවත් කළ යුතු බවත් දැනුම්දී තිබේ.

ඒ අනුව පළමුව පාද, පසුව පිටුපස හා පපු ප්‍රදේශ පරීක්ෂා කරන මුවාවෙන් ශරීරය ස්පර්ශ කරමින් අතවරයක් සිදුකළ බව තරුණිය පැමිණිල්ලේ සඳහන් කර ඇත.

පැමිණිල්ල මත පරීක්ෂණ ආරම්භ කළ පොලීසිය සැකකරුගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන අත්අඩංගුවට ගෙන තිබේ.

මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාර හක්මනගේගේ උපදෙස් මත මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත්ගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකෙරේ.