හොර රහසේ මැණික් ගැරූ හතරක් බඩුත් එක්කම අත්අඩංගුවට
බගවන්තලාව සහ මස්කෙළිය පොලිස් වසම්වල බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ආකාරයට මැණික් ගරමින් සිටි පුද්ගලයන් සිවුදෙනෙකු ඊයේ (11) දින සිදු කළ වැටලීම් දෙකකදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
බගවන්තලාව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එදින දහවල් චැපල්ටන් ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, මොවුන් අවුරුදු 38, 42 සහ 58 යන වයස්වල පසුවන බගවන්තලාව ප්‍රදේශයේම පදිංචිකරුවන් බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.
එසේම මැණික් ගැරීම සඳහා උපයෝගී කරගත් උපකරණ රැසක් ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්. මේ අතර මස්කෙළිය පොලිස් වසමේ මින්සිලෑන්ඩ්වත්ත ප්‍රදේශයේදී ද තවත් වැටලීමක් සිදු කර බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි 35 හැවිරිදි මස්කෙළිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
සැකකරු සන්තකයේ තිබූ මැණික් ගැරීමට යොදා ගන්නා උපකරණ ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරුවන් සම්බන්ධයෙන් බගවන්තලාව සහ මස්කෙළිය යන පොලිස් ස්ථාන මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.