ප්‍රශ්න විසඳෙයි - ජනපති සහ ලංවිම ඉංජිනේරු වෘත්තීය සමිති නියෝජිතයන් එකඟතාවයකට
ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට හිමිව තිබූ සියලු අයිතිවාසිකම් ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේදී නව සමාගම් තුළ ද තහවුරු කිරීම රජයේ ස්ථාවරය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව ඔහු මේ බව සඳහන් කළේ ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු වෘත්තීය සමිති නියෝජිතයන් අතර අද (12) දින පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැති සාකච්ඡාවේදීයි.
එමෙන්ම ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු බවයි.
එමෙන්ම පාරිභෝගික ජනතාවට සාධාරණ මිලකට, කාර්යක්ෂම සහ අඛණ්ඩ විදුලිබල සැපයුමක් සහතික කිරීම සහ නව සමාගම්වල අයිතිය රජය යටතේ පවත්වා ගනිමින් රටක් වශයෙන් බලශක්ති සුරක්ෂිතතාව පවත්වා ගැනීම එම ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියෙහි අරමුණ බව සඳහන්.
මේ අතර විදුලිබල මණ්ඩලය ලෙස පවතින අවස්ථාවේදීම විසඳා ගත යුතුව තිබූ, එහෙත් මෙතෙක් නොවිසඳී ඇති ගැටලු පිළිබඳව ද වෘත්තීය සමිති නියෝජිතයන් අනුර කුමාර දිසානායක මහතා සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා.
එහිදී ජනාධිපතිවරයා මෙය කිසිසේත් සුමට ක්‍රියාවලියක් නොවන බවත්, දීර්ඝකාලීන සහ සැලසුම්සහගත ක්‍රියාවලියක් බවත් එහිදී පෙන්වා දුන්නා.
ඊට අමතරව අඳාළ නිවේදනයේ සඳහන් වුණේ මෙම පරිවර්තනීය කාලය තුළ සේවකයන් සහ නව සමාගම් අතර මනා අවබෝධයකින් යුතු සංවාදයක් පවත්වා ගැනීමේ වැදගත්කමත්, ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කර ගැනීමේ අවශ්‍යතාවත් අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන් බවයි.
එසේම මෙහිදී සේවකයන්ගේ මානසික නිදහස තහවුරු කරමින්, ඔවුන්ගේ අනාගත අපේක්ෂා හඳුනාගනිමින් ඔවුන්ට සිය සේවය තෘප්තිමත්ව සැපයිය හැකි නිදහස් පරිසරයක් සකසා දීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා අවධාරණ කර ඇත.
සියලුදෙනා එක්ව අවබෝධයෙන් සහ රට ගැන හැඟීමෙන් යුතුව කටයුතු කිරීමෙන් මතුව තිබෙන ගැටලු නිරාකරණය කරගත හැකි බවත් මෙම ක්‍රියාවලිය සාර්ථක කර ගනිමින්, මෙරට විදුලි පාරිභෝගිකයන්ට වඩා හොඳ සේවාවක් සහතික කිරීමටත්, මෙරට විදුලිබල ක්ෂේත්‍රයේ වත්මන් සහ අනාගත අභියෝග ජය ගැනීමටත් එක්ව වැඩ කරමු’යි සියලු වෘත්තීය සමිතිය නියෝජිතයන්ට ජනාධිපතිවරයා ආරාධනා කළ බවත් එහි වැඩිදුරටත් සඳහන්.
එමෙන්ම එහිදී මෙම නව පරිවර්තනයේ අවශ්‍යතාව තමන් ද පිළිගන්නා අතර, එහිදී රජය සමඟ අවබෝධයෙන් යුතුව කටයුතු කරමින් අපේක්ෂිත අරමුණු සාක්ෂාත් කර ගැනීමට දායකත්වය ලබා දෙන බවට වෘත්තීය සමිති නියෝජිතයෝ පවසා ඇති බව වාර්තා වේ.