බංග්ලාදේශයේ මාධ්‍යවේදීන්ට ආරක්ෂාව ඉල්ලලා, හේතුව මෙන්න
මේ මස 12 වැනිදා පැවැත්වීමට නියමිත බංග්ලාදේශයේ මහමැතිවරණයට පෙර මාධ්‍ය නිදහස සහ මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස එරට මාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුව සියලු දේශපාලන පක්ෂ වෙත ලිපියක් යොමු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එම ලිපිය යොමු කර තිබෙනුයේ මැතිවරණ සමය ඇතුළත ප්රචණ්ඩත්වය, බිය ගැන්වීම් සහ අපරාධ මෙන්ම ජාතික ආරක්ෂක නීතිරෙගුලාසි අනිසි ලෙස භාවිත කිරීම ඇතුළු කරුණු ගණනාවක් සඳහන් කරමිනි.
එරට ප්රජාතන්ත්රවාදය සඳහා ජමාටි ඉස්ලාම් සංවිධානයෙන් සිදුවන බලපෑම් සහ ඉස්ලාම් ආගමට පටහැණි බව ඉස්මතු කරමින් කාන්තා නිදහසට සහ අයිතිවාසිකම්වලට බලපෑම් එල්ල කිරීම ඇතුළුව මැතිවරණ සමයේදී සිදුවීම් රැසක් වාර්තා වී ඇත.
වාර්තාකරණයේ නිරතව සිටි මාධ්‍යවේදීන් පස්දෙනකු මේ වන විට ආරක්ෂක අංශ මඟින් රඳවා තබා සිටින බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ශෙයික් හසීනාගේ අවාමි ලීග් රජය බිඳ වැටීමත් සමඟ ජමාටි ඉස්ලාමි සංවිධානයේ තහනම අන්තර්වාර රජය විසින් ඉවත් කරනු ලැබීමෙන් පසු බංග්ලාදේශයේ ආගමික අන්තවාදය ව්‍යාප්ත වීමේ අවදානම සහ ප්රජාතන්ත්රවාදය සීමා කිරීම ඇතුළු චෝදනා රැසක් දැනටමත් අන්තර්වාර රජයට එල්ල වී ඇත.
බංග්ලාදේශයේ මාධ්‍යවේදින් සුරැකීමේ කමිටුව ප්‍රකාශ කර තිබෙනුයේ දීර්ඝ කාලයක් පුරා පවතින මාධ්‍යවේදීන්ට එරෙහි ප්රචණ්ඩත්වය තුරන් කිරීම සඳහා මාධ්‍ය ප්රතිසංස්කරණයක් සිදු කිරීමට අන්තර්වාර රජය අසමත් වී ඇති බවයි.